මහාවංසයට අනුව සිරිනාග රජුගෙන් පසු රජකමට පත්වූයේ ඔහුගේ පුත්‍ර වොහාරිකතිස්ස කුමාරයා ය. එහෙත් දීපවංසය මේ පිළිබඳව වෙනත් කථාවක් කියයි. සිරිනාග රජුට පුත්‍රයෝ දෙදෙනෙක් වූහ. අභය හා තිස්ස යනු ඔවුහු ය. පියරජු ගෙන් පසු රජකමට පත් වූයේ අභය කුමරු ය. ඔහු ජ්‍යෙෂ්ඨ පුත්‍රයා විය යනුවෙන් දීපවංසය දක්වන අතර ඉන් පසුව තිස්ස රජ වූ බව පවසයි. මේ රජවරුන් දෙදෙනාගේ පෙර - පසු - වීම පිළිබඳව මූලික මුලාශ්‍රයවල කිසියම් පටලැවිල්ලක් තිබූ බව මහාවංසටීකාවෙන් ද පැහැදිලි වෙයි. එහි සිරිනාග රජුගේ කටයුතු අවසානය විස්තර කරමින් ''අභය රජු ඇවෑමෙන් ඔහු මල් තිස්ස තෙමේ අටවසක් ලක්දිව රජ කළේ යැ යි කිය යුතු වුව ද සිරිනාග ඇවෑමෙන්......... ආදිය කීයේ ය” යි සඳහන් කර තිබේ. මේ සම්බන්ධයෙන් කරුණු දක්වන මහාචාර්‍ය්‍ය සෙනරත් පරණවිතාන මහාවංසය මේ දෙදෙනාගේ (වොහාරතිස්ස හා අභයනාග) වැඩිමහලු පිළිවෙළ මෙසේ දක්වා ඇත්තේ දැනට අප අතර නැති විශ්වාස යෝග්‍ය මූලාශ්‍රයක් ඉවහල් කර ගැනීමෙන් විය හැකියැ යි පවසයි. අභයනාග රජු වොහාරතිස්ස කුමරුට රජය අහිමි කිරීමට යෙදූ කූටෝපායයන් මහාවංසයේ මැනවින් විස්තර කර තිබීම ද లో සඳහා ඒ මහතා සාධක කරයි. මේ අනුව මහාවංස පිළිවෙළ ගැනීම වඩා සුදුසු ය.
තිස්ස රජු වොහාර පදයෙන් වෙසෙසන ලද්දේ හිංසාමුක්ත ව්‍යවහාර හෙවත් නීති ක්‍රමයක් ඔහු විසින් ඇති කරන ලද නිසා යැ යි කියැවේ. මහාවංසය මේ රජු ධර්‍මව්‍යවහාරයෙහි - ධර්‍මනීතියෙහි - දක්‍ෂයෙකැ යි කියයි. ලංකාවේ නීති පිළිවෙළ ගැන විමසීමේ දි මේ පදයෝජනය ඉතා අගනේ වෙයි. පළමුවන සියවසට අයත් බ්‍රාහ්මී ලිපියක නක නම් අයකු ගැන ද මේ වෝහාර (වොහාර) වචනය යොදා තිබේ. එය වර්තමානයේ ව්‍යවහාර වන නීතිඥ යන්නට සමාන ය. මේ අනුව නීති විශාරද තිස්ස රජු වොහාරතිස්ස වූයේ ය. වොහාරිකතිස්ස යනු ද එය ම වෙයි.
වොහාරතිස්ස රජුගේ කටයුතු මහාවංසය ගාථා දහතුනකින් ද, දීපවංසය ගාථා හයකින් ද විස්තර කරයි. ඒ කරුණුවල එතරම් වෙනසක් දක්නට නැත. මේ තොරතුරුවල මුලින් ම දැක්වෙන්නේ කම්බුගාමවාසී දෙව තෙරුන් හා අනුරාරාමවාසී මහාතිස්ස තෙරුන් ගැන පැහැද කරවන ලද පූජා පිළිබඳ කරුණු වේ. මුචෙලපට්ටනයෙහි දන්වැටක් පැවැත්වීම විශේෂයක් සේ දැක්වේ. මේ ගැන විස්තර කරන මහාවංසටීකාව මහතොට වෙරළ අසබඩ මුචෙලපට්ටනයෙහි ලොහොමුවා නැවක් තබා එහි දන්වැට පැවැත්වී යැ යි ප්‍රකාශ කරයි. මහතොට යනු මහාතිත්ථ යනුවෙන් වංසකථාවල සඳහන් වන මුල් යුගයේ ප්‍රධාන වරාය ලෙස පැවති වර්තමාන මන්නාරම අසල වූ වරාය වේ.
මුචෙල යනු සිංහලයට මුසලි යි සිටීම හෝ මුසලි යන සිංහල ග්‍රාම නාමය මුචෙල යි පෙළබසට නැගුවා හෝ විය හැකි ය. වසභ රජුගේ හා කණිට්ඨතිස්ස රජුගේ කාලයේ විල්පත්තු නමින් දැනට හැඳින්වෙන ප්‍රදේශයේ කරවන ලද ආරාමවලින් ලැබෙන සෙල්ලිපිවල මගන නමින් දක්වා ඇති නගරය ටොලමි ද දක්වන මර්ගන නම් වූ වරාය ආශ්‍රිත ප්‍රදේශය වේ. මෝදරගආර ආරුන්ආරු නමින් වැරදි ලෙස හැඳින්වෙන මල්වතුඔය ද මූදට පිවිසෙන තැන් අතර මේ මගන පිහිටා තිබූ බවට පැහැදිලි කර ඇත. කෝට්ටේ යුගයේ දී රචනා කරන ලද කෝකිල සන්දේශයේ හාරකයා මෝදරගන්ආර පසු කළ පසු දකින්නේ මුසලිය මුවදොර ය. මුවදොර යන්නෙන් ගංගාවක් මූදට හෝ ජල මගකට පිවිසෙන තැනක් හැඳින්වෙන බැවින් ඉහත කී භූමිය තුළින් ගලායන කල්ආරේ මුවදොර ආසන්න ප්‍රදේශයේ මේ මුචෙලපටුන පිහිටි බවට පැහැදිලි කරගත හැකි ය. මෑත අතීතයේ සකස් කරන ලද සිතියම්වල මල්වතුඔය මුවදොරට පහතින් මුසලි පෙදෙස සටහන් කර තිබේ. මගන නගරයත්, මුසලි මුවදොරත් සමාසන්නව පිහිටියේ වෙයි. වොහාරතිස්ස රජුගේ දාන නැව පිහිටා තිබුණේ මේ ප්‍රදේශයේ බව පෙනේ. එය මන්නාරමට දකුණින් පිහිටියේ ය.
තිස්ස රජුගේ අනෙක් ආගමික කටයුතු අතර මිරිසවැටිය, පුත්තභාග, ඉසුරුමුණි, නාගදීපයේ තිස්ස ආදී විහාරවල ප්‍රාකාර කරවීම ද දැක්වෙයි. නාගදීපය යනු වර්තමාන යාපන අර්ධද්වීපය බව පැහදිලි ය. මේ යුගයේ ජනප්‍රිය වෙමින් පැවති ආර්‍ය්‍යවංස දේශනා පැවති ස්ථානවල දන්වැට පැවැත්වීම ද මේ රජුගේ කටයුතු අතර විය. මෙහි ද විශේෂ සිද්ධි දෙකක් සඳහන් කළ යුතු ය. දිවයිනෙහි ණය බරින් මිරිකී සිටි භික්‍ෂූන් ඉන් මිදවීම පිණිස රජු භාණ්ඩාගාරයෙන් තුන් ලක්‍ෂයක් වියදම් කිරීම මින් පළමුවන කරුණ වේ. මේ සිද්ධිය අපැහැදිලි ය. භික්‍ෂූන් ණය වූයේ කුමන හේතුවක් නිසා යි දත නොහේ.
මේ රජු විසින් වෛතුල්‍යවාදීන් මර්දනය කර පාපනිග්‍රහය කිරීම දෙවන කරුණ වේ. මේ පිළිබඳව වඩා විස්තරයක් නිකාය සංග්‍රහයේ සද්ධර්මරත්නාකරයේ රාජරත්නාකරයේ ද එයි. ධර්මරුචි නම් වූ අභයිගිරිවාසීන් වෛතුල්‍ය පිටකය ගෙන බුදුන් වදාළ ධර්මය මේ යැ යි දක්වන ලදී. ථෙරිය නිකායවාසීහු ධර්ම විනය සමඟ සසඳා බලා එය අධර්මවාදය යැ යි දුරු කළාහ. මේ බව දැනගත් වොහාරතිස්ස රජ සර්වශාස්ත්‍රයෙහි කෙළ පැමිණි කපිල නම් ඇමතියකු ලවා විනිශ්චය කොට වෛතුල්‍ය ග්‍රන්ථ දවා එය පිළිගත් භික්‍ෂූන්ට නිග්‍රහ කර බුදු සසුන බැබළවී යැ යි නිකාය සංග්‍රහයේ වර්ණිත වේ.
දීපවංසය මෙය දක්වන්නේ විතණ්ඩවාදය ලෙසිනි. මහවංසය වෛතුල්ලවාදය යනුවෙන් ගනී. මේ වනාහී දඹදිව පහළ වූ මහායාන මතවාදයකි. මේ ගැන බුද්ධඝෝෂ හිමියන් විසින් ලියන ලද කථාවත්ථුප්පකරණ අටුවාවේ තොරතුරු මඳක් සඳහන් වේ. "බුදුරජාණන් වහන්සේ මනුලොව නො ඉපැද තුසිත දෙව්ලොව ම වැඩ සිටියහ. තමන් වහන්සේගේ අවතාරයක් මේ ලොවට එවන ලද බවත්, ධර්ම දේශනා කරන ලද්දේ ආනන්ද තෙරුන් බවත් ආදී" කරුණු ඒ අතර දක්වා තිබේ. මේ අදහස් මහායානිකයන්ගේ සද්ධර්මපුණ්ඩරික සූත්‍රය, ප්‍රඥාපාරමිතා සූත්‍රය වැනි ග්‍රන්ථවල ඇතුළත්ව ඇත. මේ සූත්‍ර සමඟ වෛතුල්‍ය වචනය එක්වී වෛතුල්‍ය සූත්‍ර යනුවෙන් ඒ ග්‍රන්ථවල සටහන් වෙයි. මේ නිසා වෛතුල්‍යවාදය යනු මහායාන මතවාදය සේ සැලකීමට පුළුවන. මේ වචනය ප්‍රථම වතාවට මෙහි සඳහන් වන්නේ වොහාරතිස්ස රජු දවස මේ කියන සිද්ධියට අදාළව බව පෙනේ.
මේ රජුගේ යුගයට අයත් නිශ්චිත වූ සෙල්ලිපි නැත ද රුහුණේ බෝවත්තේගල ඇති ගිරි ලිපියක් ඔහුගේ යැ යි සැලකේ. එය ආරම්භය "....ක තිස මහරජහ” යනා දී වශයෙන් වේ. ක අක්‍ෂරයට මුලින් අක්‍ෂර කීපයක් කියවිය නොහැකි ලෙස හානි වී තිබේ. ඒවා වොහාරි” ලෙස ගත හැකි නම් වචනය වොහාරික තිස මහරජ වේ. අභයගිරි මහඇමතිගේ පුත්‍ර නකය (නක+අය) ඇමතියා විසින් කරන ලද පූජා ලිපියේ අන්තර්ගතව ඇත. මේ පූජා සිදුකර ඇත්තේ ඉහතින් රජු දැක්වූ රජු දවස බව පෙනේ. මේ ලිපිය අනුව වොහාරතිස්ස දවස රුහුණේ අභයගිරි ඇමති යටතේ පාලනය වූ බව පෙනේ. ඇතැම් විට මේ ලිපිය භාතියතිස්ස රජුගේ කාලයට අයත් විය හැකි යැ යි ද කීමට පුළුවන.
වොහාරතිස්ස රඡු නීතිගරුක, ධර්මගරුක පුද්ගලයකු වුව ද ඔහුගේ සහෝදරයා වූ අභයනාග කුමරු එබඳු පුද්ගලයකු නොවීය. ඔහු රජුගේ බිසොව සමග රහස් සම්බන්ධයක් පැවැත් වීය. රජු මේ බව දැනගත් හෙයින් බියට පත් අභයනාග කුමරු භල්ලතිත්‍ථයට පලා ගියේ ය. මෙය කොහි පිහිටියේ ද යි දත නොහැකි වුව ද මූද අසල පිහිටි තැනක් බව පෙනේ. අභයනාග කුමරුගේ මේ ක්‍රියාව නිසා රටේ පැවති යහපත් සාමකාමී වාතාවරණය බිඳ වැටෙන ලකුණු පහළ විය.
හිංසාව දුරු කළ වොහාරතිස්ස රජුගේ රාජ්‍ය කාලය වර්ෂ විස දෙකක් විය.
පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි