94
3 වන අග්ගබෝධි රජතුමා
අනුරාධපුර රාජධානිය
ක්‍රිව 633 - ක්‍රිව 643

3 වන අග්ගබෝධි රජතුමාගේ මූලාශ්‍ර සහිත පරම්පරා සටහන සමග අපේ රාජ වංශයේ සියලුම රජවරුන්ගේ ක්‍රමානුකූලව නිර්මාණය කළ පරම්පරා සටහන් අධ්‍යයනය කිරීම සඳහා වර්ණවත් පිටු 650කින් සමන්විත
"මහාවංස ප්‍රදීපිකාව"
ග්‍රන්ථය ඔබත් අදම ලබාගන්න.
📞 දුරකථන:
0701 400 300
💬 WhatsApp:
0711 400 300
වැඩිදුර විස්තර සඳහා
රාජ්‍ය නාමය : 3 වන අග්ගබෝධි රජතුමා
රාජවංශය : තුන්වන ලම්බකර්ණ (මානවම්ම)
රාජධානිය : අනුරාධපුර රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිව 633 - ක්‍රිව 643
අසිග්ගාහක සිලාමේඝ රජුට අග්ගබෝධි, මාණ සහ කස්සප නමින් පුත්‍රයෝ තිදෙනෙක් සිටියහ. පියරජුගෙන් පසු වැඩිමහලු පුත් අග්ගබෝධි කුමාරයා සිරිසංඝබෝධි නමින් සිහසුනට පත් විය. ඔහු ඒ නමින් පෙනීසිටි තෙවැන්නා වෙයි. සිංහල ග්‍රන්ථවල මේ රජු දැක්වෙන්නේ සිරිසගබෝ නමිනි. හෙතෙම සිය කණිටු සොහොයුරා වූ මාණ කුමාරයාට යුවරජකම පවරා දක්‍ෂිණ දේශය පාලනය සඳහා යැවීය. මුලින් පරිච්ඡේදයක සඳහන් කරන ලද පළමුවන සංඝතිස්ස රජුගේ පුත්‍රයෙකු වූ ජෙට්ඨතිස්ස කුමරු මේ වන විට සිටියේ මලය රටෙහිය. ඔහු සිලාමෙඝ රජුට බියෙන් එහි සැඟවී සිටියේය. අග්ගබෝධි කුමරු සිහසුනට පත්වූ බව දැනගත් හෙතෙම අරිට්ඨගිරියට පැමිණ සේනා රැස්කර ගෙන කඳවුරු බැන්දේය. තවදුරටත් තමාගේ ඇමතියෙකු වූ දාඨාසිව බටහිර දෙස යටත් කරගනු පිණිස යැවූ හෙතෙම සිරිපිට්ඨ නම් ගමෙහි නවාතැන් ගත්තේය. අරිට්ඨගිරි යනු වර්තමාන රිටිගල විය හැකි අතර සිරිපිට්ඨ යනු කුරුණෑගල දිශාවේ පිහිටි හිරිපිටිය විය හැකිය. මේ අනුව ජෙට්ඨතිස්ස බටහිරින් හා දකුණින් අනුරාධපුරය ආක්‍රමණය කිරිමට සැලසුම් කළ බව පැහැදිලි වෙයි. අග්ගබෝධි රජ දාඨාසිව සමග සටනට යුවරජ පදවියේ සිටි මාණ කුමාරයා යැවීය. මේ සටනින් යුවරජ ජයගත්තේය. දාඨාසිව මායෙත්ති වැවට පලාගියේය. මේ වූකලී විලච්චිය වැව හෝ මහාවිලච්චිය වැව පෙදෙස විය හැකිය. එහිදී රජු විසින් ඇමතියා අල්ලා ගන්නා ලදී. ජෙට්ඨතිස්ස කුමරු මේ බව දැනගත්තේ වහා සේනාවක් ගෙන රජු සමග සටනට ගියේය. ඉන් රජු පරාජයට පත්විය. හෙතෙම ඇතු පිට නැගී පලා ගොස් නැව් නැග දඹදිවට ගියේය. මේ අනුව ඔහුගේ පළමුවන රාජ්‍ය කාලය මාස හයකට සීමා විය. මේ විස්තරය හැරෙන විට මහාවංසය මෙතැනදී ඔහු ගැන කියා ඇත්තේ ඔහු පෙර සිරිත් නොහැරම රජ කළේය යනු පමණි.
ඉහත සඳහන් කරන ලද අරගලයෙන් පසු ජෙට්ඨතිස්ස කුමරු රජකමට පත් වුවද ඔහුගේ කටයුතු විස්තර කිරීමට පෙර තුන්වන අග්බෝ රජුගේ ඉතිරි තොරතුරු මෙහිදී දැක්වීම ගැළපේයයි සිතමි. ඉන්දියාවේ සුළු කලක් ගත කළ අග්බෝ රජු දෙටුතිස් කුමරු රජවීමෙන් පසු දෙමළ සේනාවක් ගෙන ලක්දිවට ගොඩ බැස දෙටුතිස් රජු සමග සටන් කර නැවතත් රජකමට පත් වූයේය. මුල් හයමාසයේ දී ඔහුට කිසි කාර්‍ය්‍යයක් කළ නොහැකි වුව ද දෙවන වර රජ වීමෙන් පසු පෙර සිරිත අනුව හෙතෙම කටයුතු කළේය. ජේතවනය ආදී විහාරවලට ගම් කීපයක් පූජා කළ මේ රජ පොළොන්නරුවේ මහාපාණදීප විහාරය කර වූයේය. මේ යුගයේ අනුරාධපුර පාලකයන් පොළොන්නරුව ගැන අවධානය යොමු කළ බවට මෙය සාධකයකි. එහෙත් මේ ස්ථානය තවම හඳුනාගෙන නැත.
මේ රජුගේ කාලයේ දී රජ වාසල අර්බුදයක් ඇති වූ බව පෙනේ. උපරජ පදවියේ සිටි රජුගේ සහෝදරයා වූ මාණ කුමරු අන්තඃපුරයෙහි අපරාධයක් සිදුකරන ලදැයි චෝදනා කළ වාසල නිලධාරීහු ඔහු මරණයට පත්කළහ. මින් පසු රජුගේ බාල සහෝදරයා වූ කාශ්‍යප කුමාරයා යුවරජ පදවියට පත් කළේය. රජු තම සහෝදරයාගේ මරණය අනුමත කළා විය යුතුය. එහෙත් එය අන්‍ය පිරිසකගේ කුමන්ත්‍රණයක් විය යුතුය. එසේ නැතහොත් වරදකරුවන්ට දඬුවම් දීමට තරම් ඔහු අපොහොසත් වූවා විය යුතුය. කෙසේ නමුත් මෙයින් පෙනී යන්නේ රජුගේ පැවැති දුර්වල තත්ත්වයයි. එහෙත් මේ හේතුවෙන් ඔහුට අයහපත් තත්ත්වයකට මුහුණ දීමට සිදුවූ බව පෙනේ. මාණ කුමරුගේ මරණය ගැන ඇසූ මිය ගිය දෙටුතිස් රජුගේ දාඨාසිව නම් වූ ඇමැතියා දෙමළ සේනාවක් ද ගෙන කිංකිනිගාමයට සටන් පිණිස ගියේය. ඔහු සමග සටනට ගිය අග්බෝ රජු තමාට ජයග්‍රහණයක් නොලැබෙන බව දැන ගත්තේ ඒකාවලිය පමණක් ගෙන දඹදිවට පලා ගියේය. මෙවර ඔහුගේ රාජ්‍ය කාලය වර්ෂ දොළොසක් විය. මෙයින් පසු ඔහු වරින්වර සටන් කළ බව මහාවංසය දක්වයි. I දාඨෝපතිස්ස රජුගේ කාලයේ සටනකින් පැරද රුහුණට ගොස් සේනාව සංවිධානය කරමින් සිටි අග්බෝ රජු රෝගයකින් මිය ගියේය. අග්බෝ රජු හා පළමුවන දාඨෝපතිස්ස අතර අරගලය වර්‍ෂ හතරක්ම පැවැත්තේය.
පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි