තම්මැන්නා නුවර
උපතිස්ස නුවර රාජධානිය
අනුරාධපුර රාජධානිය
චෝළ පාලනය
රුහුණු රාජධානිය
පොළොන්නරුව රාජධානිය
දඹදෙනිය රාජධානිය
යාපහුව රාජධානිය
කුරුණෑගල රාජධානිය
ගම්පොල රාජධානිය
කොට්ටේ රාජධානිය
සීතාවක රාජධානිය
මහනුවර රාජධානිය
පෘතුග්‍රීසි පාලනය
ලන්දේසි පාලනය
ඉංග්‍රීසි පාලනය
සිලෝන් අධිපතීන්
50
කනිට්ඨතිස්ස රජතුමා
අනුරාධපුර රාජධානිය
ක්‍රිව 164 - ක්‍රිව 192
කනිට්ඨතිස්ස රජතුමාගේ මූලාශ්‍ර සහිත පරම්පරා සටහන සමග අපේ රාජ වංශයේ සියලුම රජවරුන්ගේ ක්‍රමානුකූලව නිර්මාණය කළ පරම්පරා සටහන් අධ්‍යයනය කිරීම සඳහා වර්ණවත් පිටු 650කින් සමන්විත "මහාවංස ප්‍රදීපිකාව" ග්‍රන්ථය ඔබත් අදම ලබාගන්න.

📞 දුරකථන: 0701 400 300
💬 WhatsApp: 0711 400 300

වැඩිදුර විස්තර සඳහා
King Kanitta Tissa රාජ්‍ය නාමය : කනිට්ඨතිස්ස රජතුමා
රාජවංශය : පළමුවන ලම්බකර්ණ
රාජධානිය : අනුරාධපුර රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිව 164 - ක්‍රිව 192

භාතියතිස්ස රජුගෙන් පසු ඔහුගේ සහෝදරයා වූ කණිට්ඨතිස්ස කුමාරයා රජකමට පත් විය. මොහු චූලතිස්ස හැටියට පූජාවලී, රාජරත්නාකරය, සුලු රාජාවලිය, සද්ධර්මරත්නාකරය ආදී ග්‍රන්ථවල නම් කර ඇත. සෙල්ලිපිවල දක්වෙන්නේ මළිතිස, මළුතිස, මළතිස ආදී වශයෙනි. මහාවංසය මේ රජුගේ ආගමික කටයුතු පිළිබඳ ලේඛනයක් ගාථා එකොළසකින් දක්වා ඇත.. එයින් පළමුවැනි කාර්යය ලෙස දක්වා ඇත්තේ භූතාරාම මහානාග තෙරුන් ගැන පැහැදී අභයගිරියේ රත්නප්‍රාසාදය කරවා පිදීමයි. එය අභයගිරියේ ප්‍රධාන තෙරනම විසූ ආවාසය මෙන් ම අභයගිරිකයන්ගේ උපෝෂථාගාරය ද වෙයි. මේ ගොඩනැගිල්ල පසුව සංවර්ධනය කරන ලද්දේ ය. මෙය අභයගිරි විහාරයට බටහිරින් පිහිටා ඇත. මණිසෝම, අම්බස්ථල හා නාගදීප යන තැන්වල වටදාගෙවල් කරවීම ද, කැලණිය, මණ්ඩලගිරිය, දුරතිස්සවාපිය යන ආරාමවල උපෝෂථාගාර කරවීම ද, තවත් පූජනීය ස්ථාන හතක් ඇතුළු බොහෝ ආරාම කරවීම ද වංසකථාවට එක් වී තිබේ. මේ රජු අනුරාධපුරයේ මහාවිහාර සීමාව මැඩ කුක්කුටගිරි පිරිවෙන් පෙළ කරවා සංඝයාට දුන්නේ ය.
 
කණිට්ඨතිස්ස රජු මහාවිහාරයේ අනුමැතිය නැතිව බලහත්කාරයෙන් කටයුතු තුනක් කරවන ලදී. ඉහතින් කී කුක්කුටගිරි පිරිවෙන් පෙළ සෑදිම, මහමේඝවන සීමාව ඉක්මවා දක්ඛිණ විහාරයේ දන්හල කරවීම හා මහාවිහාර ප්‍රාකාරය කඩා දක්ඛිණ විහාරයට යාමට මාර්ගයක් සෑදිම යනු ඒ කටයුතු ය. රජු තමාගේ බලය යොදවා මේ කටයුතු කරන ලද බව මහාවංසටීකාව පවසයි. එහෙත් මේ සම්බන්ධයෙන් මහාවිහාර භික්‍ෂූන්ගේ විරෝධයක් හෝ මහජන විරෝධයක් ඇති වූ බවට කිසිදු සටහනක් දක්නට නොලැබේ. අභයගිරිය හා ජේතවනය මේ රජුගෙන් ද බොහෝ සැලකිලි ලැබී ය.
 
හෝ කණිටුතිස් රජුගේ කටයුතු රැසක් ගැන සෙල්ලිපි මගින් ද අපට දනගත හැකිව තිබීම වැදගත් වෙයි. දිවයිනේ නොයෙක් ප්‍රදේශවල පිහිටුවා තිබූ ඔහුගේ ලිපි පහළොවක් පමණ ලැබී තිබේ. මේ ලිපිවල දක්වෙන තොරතුරු සුලු වශයෙන් වත් සඳහන් කිරීම මෙහිලා වැදගත් ය යි සිතමි, මන්ද? මේ ලිපිවල අදහස පුද පූජා විස්තර දැක්වීම වුව ද ඒවායේ ගැබ්ව ඇති ඇතැම් කරුණු ඉතිහාසය හදාරන්නන්ට ප්‍රයෝජනවත් වන හෙයිනි. අනෙක් අතට මහාවංසය වාර්තා කරන කරුණු ගලේ කෙටූ අකුරු මෙන් දිගින් දිගට ම සනාථ වන බව පැහැදිලි ද වන නිසා ය. මේ ලිපි අතුරින් සිතුල්පව්ව ලිපියක කහවණු අටසිය තිස් තුනක් වියදම් කර දකණතිස නම් වැව කරවීම පිළිබඳ තොරතුරු සඳහන් වේ. එය එම යුගයේ කෙරුණු වැදගත් කාර්‍ය්‍යයකි. මීන්විල අසල මහවැලි ගඟේ තොටුපල තුනකින් ලැබෙන ආදායම පජිනි නකල අරමට පිදීම, ලියා තැබීම මීන්විල ලිපියේ අදහස ය. මීන්විල, වර්තමාන සෝමාවතී විහාරාශ්‍රිත ප්‍රදේශය වේ. මේ ප්‍රදේශය හරහා ගලා යන මහවැලි නදියේ තොටුපොලවල් ගණනාවක් විය. ඉන් ප්‍රකට ම තීර්ථය වනුයේ කච්ඡක හෙවත් කස්තොටයි. රුහුණු රට හා පිහිටි රට සම්බන්ධකරන මේ තොටුපලවල මගීන් හා භාණ්ඩ එගොඩ මෙගොඩ ප්‍රවාහනය කරන යාත්‍රා සේවා වූ බවත්, එයින් ආදයම් රජයට ලැබුණු බවත් මේ ලිපියෙන් පෙනේ. මහවැලි ගඟ හා මාදුරුඔය අතර පෙදෙස අන්තරගංගා නමින් පුරාතනයේ දී හඳුන්වා ඇත්තා සේ ම මහවැලි ගඟත් හීන් ගඟත් අතර පෙදෙස ද එනමින් හඳුන්වා ඇති බව ද මීන්විල ලිපිය අනුව පැහැදිලි වෙයි.
 
රෝහණ දේශය පාලනය කිරිම පිළිබඳ වැදගත් කරුණු නැගෙනහිරි පළාතේ පොතුවිල් ප්‍රදේශයෙන් ලැබුණු ලිපියකින් අනාවරණය වේ. කණිට්ඨතිස්ස රජුගේ කාලයේ දී රෝහණ දේශයේ ද ඔහුගේ බලය ඉතා හොඳින් පිළිගෙන තිබුණු බව පැහැදිලි වේ. මෙතෙක් ලියා ඇති ලේඛනයකින් නොදැක්වෙන රෝහණයේ උප කොට්ඨාසයක් ගැන ලයින්මලේ ලිපිය දක්වයි. එනම් හුචහක රටයි. මෙය වර්තමාන ඌව ප්‍රදේශයට සමාන ය. කණිට්ඨතිස්ස රජුගේ කාලයේ දී නකමුලය නම් ඇමතියා හුවහක රට පාලනය කරද්දී ඊටිය හොණය දෙව විහාරයකට පුදපූජා කිරීම මේ ලිපියේ දැක්වෙන තවත් තොරතුරු ය. එසේම අනෙක් ලිපියකින් පෙනෙන පරිදි රජතුමා විසින් ම මෙහි උපෝෂථාගාරයක් කර වූයේ ය. මපුරුමක මලිතිස මහරජ දවස  පජිනනකපවත (ප්‍රාචීන නාගපබ්බත) විහාරයට කරන ලද පූජා රජරටින් ලැබුණු තවත් ලිපියක සටහන් වෙයි. මගන නගරය ගැන සඳහන් වන ඔච්චාප්පුකල්ලූ ලිපිය දිවයිනේ වයඹ ප්‍රදේශයේ පරිපාලනය ගැන හැදෑරීමට ප්‍රයෝජනවත් වන්නකි.
 
රෝහණයේ දීඝවාපී සෑයේ ප්‍රතිසංස්කරණයක් කණිට්ඨතිස්ස රජු විසින් කරවන ලදී. ඒ අවස්ථාවේ එහි එතුමා විසින් ධාතු නිධානයක් ද කළ බව පෙනේ. මෑතදී සෑයේ ගරා වැටුණු සුන්බුන් ඉවත් කිරීමේදී හමු වූ රන් තහඩු ලිපියක සටහන්වන නකමහරජහපුත මලිතිස මහරප්හ සොවණ තුඛෙ යන වාක්‍යයෙන් ඒ බව දැක්වේ. අභයගිරියේ දකුණු වාහල්කඩ අසලින් කෙටි කරඬු ලිපි දෙකක් ලැබී තිබේ. ඉන් එක ලිපියක මලිතිස රජුගේ මව ගැන කියැවෙයි. ඇය සොරලය නම් වූවා ය. අනෙක් ලිපියෙන් රජුගේ බිසොව ගැන දනගත හැකි ය. ඇය මිතබි රැජින නම් වූවා ය. වංසකථා කිසිවකින් එළි නොදකින මෙබඳු වැදගත් තොරතුරු කණිට්ඨතිස්ස රජුගේ සෙල්ලිපිවලින් අපට පැහැදිලි කරගත හැකි වේ.
 
මෙතෙක් දක්වන ලද කරුණු අනුව අනාවරණය වන්නේ කණිට්ඨතිස්ස රජුගේ පාලනය මුලු දිවයින පුරා පිළිගැනී තිබුණු බවත් රටේ අවුල් වියවුල්වලින් තොරව ජනතාව ප්‍රීතියෙන් ආගමික කටයුතුවල යෙදෙමින් භාතියතිස්ස රජුගේ කාලයේ දී සේ ම සාමයෙන් පැවති බවත් ය. මේ තත්ත්වය ආරම්භ වූයේ වසභ රජුගේ (65 - 109) රාජ්‍ය කාලයත් සමඟ ය. වසභ, වංකනාසිකතිස්ස, ගජබාහු, මහලුනා, භාතියතිස්ස හා කණිට්ඨතිස්ස යන රජවරුන්ගේ වර්ෂ එකසිය විසිහතක් වූ කාලය තුළ රට තුළ සාමකාමී යහපත් තත්ත්වයක් පැවති බව පෙනේ. මේ වර්ෂ ගණන තුළ රටට කරදරකාරි දෙයක් ලෙස සිදුවූයේ යැ යි කිය හැක්කේ වංසකථාවේ නොදක්වෙන්නා වූ වංකනාසිකතිස්ස රජුගේ කාලයේ සිදු වී යැ යි කියවෙන දකුණු ඉන්දීය ආක්‍රමණය යි. එය ද දීර්ඝ කාලයක් පැවති බලවත් ප්‍රශ්නයක් නොවූ බව පෙනේ. වසභ රජු විසින් දිවයිනේ ගොඩනගන ලද මහා පරිමාන වාරි පද්ධතිය නිසා රට ක්‍රමයෙන් ස්වයංපෝෂිත වන්නට ඇත. ඉන්පසුව රජ වූ රජවරුන් විසින් ආරාමවලට පුදන ලද වැව් හා කුඹුරු ආදිය ගැන සලකන විට තව දුරටත් රටේ සංවර්ධනයට අදාළ බොහෝ වාරිමාර්ග කටයුතු ඒ රජවරුන් විසින් ද කරන ලද බව පැහැදිලි ය. මේ නිසා රටට බතින් සරු වූ යහපත් තත්ත්වයක් උදාවන්නට ඇත.
 
අනෙක් අතට පළමුවන භාතිකාභය රජුගේ කාලයේ සිට ග්‍රීකය, රෝමය, චීනය වැනි රටවල් සමඟ වෙළඳ ගනුදෙනු ඇති වූ ආකාරය විදේශිකයන්ගේ වාර්තාවලින් පැහැදිලි වේ. ග්‍රීක ජාතික භූගෝල විද්‍යාඥයකු වූ ක්ලෝදියස් ටොලමි (2 සියවස) ලංකාව පිළිබඳ සිතියමක් සකස් කරන ලද්දේ මේ යුගය තුළදී ය. ඔහු මේ යුගයේ සිංහල දිවයින කොට්ඨාස දහතුනකට බෙදා පාලනය කරන ලද්දේ යැ යි සඳහන් කරයි.
 
ඔහු මාර්ගත නමින් සඳහන් කරන වෙළඳ නගරය කණිට්ඨතිස්ස රජුගේ ඔච්චාප්පුකල්ලු ලිපියේ මගන නගර නමින් සඳහන් වී තිබේ. එය ජාත්‍යන්තර වාණිජ සම්බන්ධතා පවත්වාගෙන ගිය වෙළඳ වරායක් ද ඇසුරු කර පිහිටා තිබූ නගරයකි. දිවයින වටා පිහිටි ස්වාභාවික වරායන් ඇසුරු කර ආනයන අපනයන කටයුතු සිදුවිය. මේ අන්දමට මේ යුගයේ වාණිජ කටයුතුවල දියුණුවක් ද ඇති වූ බව පෙනේ. ආර්ථික සංවර්ධනයත්, රජුගේ දැහැමි පාලනයත් එක්වන විට, ආගම දහම මගින් ජනයා දැහැමි බවට මෙහෙය විනි. රජුට මෙන් ම ජනතාවට ද ආගමික කටයුතුවල යෙදෙමින් සතුටින් දිවිගෙවීමට මේ නිසා හැකි විය. ඊළඟ කාල පරිච්ඡේදයේ දී මේ තත්ත්වය වෙනස් වීමට පටන් ගැනුණු බව පෙනේ. කණිට්ඨතිස්ස රජු අටවිසි වසක් රජකම් කළේ ය.

පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි 
මුල්පිටුව | රාජධානි | යටත්විජිත | රාජවංශ | රජවරු | මහාවංස ප්‍රදීපිකාව | අපි ගැන | අමතන්න
© www.mahawansaya.com සියලුම හිමිකම් ඇවිරිණි. 2009 / 2026 පිටපත් කිරීම හා අනවසරයෙන් භාවිතා කිරීම තහනම්