තම්මැන්නා නුවර
උපතිස්ස නුවර රාජධානිය
අනුරාධපුර රාජධානිය
චෝළ පාලනය
රුහුණු රාජධානිය
පොළොන්නරුව රාජධානිය
දඹදෙනිය රාජධානිය
යාපහුව රාජධානිය
කුරුණෑගල රාජධානිය
ගම්පොල රාජධානිය
කොට්ටේ රාජධානිය
සීතාවක රාජධානිය
මහනුවර රාජධානිය
පෘතුග්‍රීසි පාලනය
ලන්දේසි පාලනය
ඉංග්‍රීසි පාලනය
සිලෝන් අධිපතීන්
87
කිත්තිසිරිමේඝ රජතුමා
අනුරාධපුර රාජධානිය
ක්‍රිව 555 - ක්‍රිව 573
කිත්තිසිරිමේඝ රජතුමාගේ මූලාශ්‍ර සහිත පරම්පරා සටහන සමග අපේ රාජ වංශයේ සියලුම රජවරුන්ගේ ක්‍රමානුකූලව නිර්මාණය කළ පරම්පරා සටහන් අධ්‍යයනය කිරීම සඳහා වර්ණවත් පිටු 650කින් සමන්විත "මහාවංස ප්‍රදීපිකාව" ග්‍රන්ථය ඔබත් අදම ලබාගන්න.

📞 දුරකථන: 0701 400 300
💬 WhatsApp: 0711 400 300

වැඩිදුර විස්තර සඳහා
King Kiththisirimegha රාජ්‍ය නාමය : කිත්තිසිරිමේඝ රජතුමා
රාජවංශය : දෙවන ලම්බකර්ණ
රාජධානිය : අනුරාධපුර රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිව 555 - ක්‍රිව 573

(දළ) සුළු මුගලන් රජුගෙන් පසුව රජකමට පත්වූයේ කිත්ති සිරිමේඝ නම් කුමාරයාය. ඔහු මුගලන් රජුගේ පුත්‍රයා වෙයි. සිංහල ලේඛනවල සඳහන් වන්නේ මේ රජු කුඩා කිත්සිරිමෙවන් වශයෙනි. මොහුගේ කාලයේදී රාජ්‍ය තන්ත්‍රයෙහි මහත් අවුලක් ඇතිවිය. එයට හේතුව වූයේ මේ රජුගේ මව මුගලන් රජුගේ නෑයන් වස දී මරමින් සිය පුතුට නාමිකව රජකම පවරා තමාම රටේ පාලනය අතට ගැනීමයි. එහෙත් ඇයට ඒ සඳහා දක්‍ෂ කමක් තිබුණේ නැත. එනිසා රාජ්‍ය පාලනය බොහෝ සේ දූෂිත විය. ක්‍රමවත් දැඩි අධික්‍ෂණයක් නොතිබුණු නිසා රාජ්‍ය නිලධාරීහු අල්ලස් ගනිමින් වැසියන් පෙළූහ. ජනපදවල සිටි බලවත්හු බිය සැක නැතිවම රාජ්‍ය නීති උල්ලංඝණය කළහ. මේ අන්දමට පාලන තන්ත්‍රය බිඳවැටෙද්දී මහ ජනතාව බලවත් කලකිරීමට පත්වී සිටියහ. මේ අනුව කැරැල්ලක් ඇතිවන තත්ත්වයක් උද්ගතවී තිබිණ.
 
ඉහත සඳහන් වූ අවුල් වියවුල් සහිත තත්ත්වය පැවැතියේ වුව ද කිත්සිරිමෙවන් රජු පෙර සිරිත් පරිදි රජෙකුගෙන් ඉටුවිය යුතු කටයුතු ඉටුකිරීමට උනන්දුවක් දැක්වූයේය. රජ බෝධිඝරයේ දිරා තිබූ වහලය ලෝහ උළු වලින් වස්වා එහි ප්‍රතිසංස්කරණයක් කළේය. තවද දුගී මගී යාචකාදීන්ට මහ දන් දුන් බවද මහාවංසය දක්වයි. මේ රජු සියළු ජනයාට ළඟාවීමට හැකි විශ්‍රාම ශාලාවක් මෙන් වී යැයි ද එහි විස්තර වේ. ඔහු සෑහෙන කලක් රජකම් කළේ ද මහ ජනතාවගේ හිතවතෙකු වූ නිසා විය යුතුය.
 
කිත්සිරිමෙවන් රජුගේ රාජ්‍ය කාලය දින විසි එකක් වූ බව මහාවංස පාඨවල දැක්වේ. ඔහු විසින් කරවන ලදැයි ඉහතින් දැක්වූ කටයුතු එබඳු සුළු දිනකදී සිදුවිය හැකි දේ නොවේ. මේ නිසා මෙහිදී මහාවංස පාඨය අතින් අත ලියවීම නිසා ලේඛකයන් අතින් ප්‍රමාද දෝෂයක් සිදුවූ සේ සැලකිය හැකිය. මේ කාලය ගැන දැක්වෙන මහාවංසයේ සතළිස් වන පරිච්ඡේදයේ අනූ එක්වන ගාථාවේ අවසාන පාද දෙක මෙසේය.
 
එකුන විංසෙ දිවසෙ - මාරයිත්වා මහීපතිං (එකුන් විසිවන දින මිහිපති මරවා) යනුවෙනි මේ අනුව කිත්සිරිමෙවන් රජ රජවී එකුන් විසිවන දින මැරුම් කෑවේය. එහෙත් මේ රජු මීට වඩා කාලයක් රජකම් කළ බවට සාධක තිබේ. පූජාවලිය, සුළු පූජාවලිය ආදී ග්‍රන්ථවල මෙතුමාගේ රාජ්‍ය කාලය වර්ෂ දහ නවයක් බව දැක්වේ. මහාවංසය ඉංග්‍රීසියට පරිවර්තනය කළ ජෝර්ජ් ටර්නර් මේ රජුට වර්ෂ දහ නවයක් වෙන්කර ඇත. මහාවංසය සිංහලයට පරිවර්තනය කළ ශ්‍රී සුමංගල නාහිමි, බටුවන්තුඩාව පඬිවරුන් මෙය දින දහනවයකැයි සඳහන් කළ පසු මෙය නිවැරදි යැයි පිළිගැනී තිබිණි. ඩබ්ලිව්.ඇෆ්. ගුණවර්ධන වාසලමුදලි තුමා මේ කාරණය පිළිබඳව විමසීමක් කරමින් කියා සිටියේ මේ රජුගේ රාජ්‍ය කාලය වර්ෂ දහනවයක් විය යුතු බවයි.
 
ඉහතින් සඳහන් කරන ලද මහාවංස ගාථාවේ 'එකුන විංසෙ දිවසෙ’' යන පාඨයෙහි 'දිවසෙ' යන වචනයේ විෂම පාඨ සමහර පිටපත්වල දක්නට ලැබෙන නිසා එහි නිවැරදි පාඨයක් තිබිය යුතුය. ලියන්නන් අතින් වෙනස් වී ඇති මේ වචනයේ මහාවංසය ලියූ කර්තෘවරයාගේ යෙදුම දිවසෙ නොව වස්සේ යනු නියත වශයෙන් විය යුතුය. එවිට 'එකුන් විසි වසක්' යන අර්ථය ඉන් ලැබේ. මේ අනුව කිත්සිරිමෙවන් රජුගේ රාජ්‍ය කාලය වර්ෂ 19 ක් බව පැහැදිලි වෙයි. වාසලමුදලි ගුණවර්ධන මහතාගේ මතය ඉදිරිපත් වීමෙන් පසු බිබිලේ ටැම්ගොඩ විහාර භූමියේ තිබී හමුවූ මේ රජුගේ කාලයට අයත් සෙල්ලිපි කැබැල්ලෙන් ඒ මතය තහවුරු විය. එම ලිපියේ කිත්සිරිමෙවන් රජු "මපුරුම බුදහ සිරිමෙක සිරිසගබොයි අපය” යනුවෙන් දැක්වෙන අතර රජුගේ රාජ්‍යයෙන් සිව්වෙනි වර්ෂයේදී ලිපිය පිහිටුවන ලද බව කියැවේ.
කිත්සිරිමෙවන් රජුගේ යුගයෙහි රටේ පාලන තන්ත්‍රය දුර්වල වී ගිය ආකාරය ගැන මුලින් සඳහන් කළෙමු. එහෙත් මුල් කාලයේ ඔහුගේ අණසක රෝහණ දේශයේ ද පිළිගැනී තිබුණු බව ඉහතින් දුටු ටැම්ගොඩ විහාර ලිපියෙන් වුව ද පැහැදිලි වෙයි. එහෙත් මේ තත්ත්වය පසුව වෙනස් වන්නට විය. රාජ්‍යය තුළ බලවත් අවුල් වියවුල් මතුවිය. අඹහෙරණ සලමෙවන් (සිලාකාල) රජුගේ කාලයේ සිට වරින් වර මතුවෙමින් පැවැති බලවත් පුද්ගලයෙකු වූ මහානාග නැමැත්තෙක් කිත්සිරිමෙවන් රජු මරණයට පත්කොට සිහසුනට පත් වූයේ මේ තත්ත්වයන් උපයෝගී කරගනිමිනි. කිත්සිරිමෙවන් රජු ධාතුසේන පෙළපතේ අන්තිමයා යැයි මහාචාර්ය සෙනරත් පරණවිතාන කියතත් ඔහු සිලාකාල පෙළපතට අයත් වෙයි. සිලාකාල ලම්බකර්ණ වංශිකයෙකි. ධාතුසේන රජුට සිලාකාල සමග තිබූ සම්බන්ධය වන්නේ තම පුත් මුගලන් රජුගේ සහෝදරිය ඔහුට පාවාදී තිබීම පමණකි. දෙවන උපතිස්ස රජුගෙන් ආරම්භවුණු දෙවන ලම්බකර්ණ වංශික රජ පෙළපත මේ රජුගෙන් අවසන්
වූයේය. මේ රජුගේ රාජ්‍ය කාලය වර්‍ෂ දහනවයක් වන විට රාජ්‍ය වර්ෂ නැවත ගණනය කිරීමට සිදුවේ. වියතුන්ට එයට ඉඩ තබා අපි ඉදිරියට යමු.

පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි
මුල්පිටුව | රාජධානි | යටත්විජිත | රාජවංශ | රජවරු | මහාවංස ප්‍රදීපිකාව | අපි ගැන | අමතන්න
© www.mahawansaya.com සියලුම හිමිකම් ඇවිරිණි. 2009 / 2026 පිටපත් කිරීම හා අනවසරයෙන් භාවිතා කිරීම තහනම්