තම්මැන්නා නුවර
උපතිස්ස නුවර රාජධානිය
අනුරාධපුර රාජධානිය
චෝළ පාලනය
රුහුණු රාජධානිය
පොළොන්නරුව රාජධානිය
දඹදෙනිය රාජධානිය
යාපහුව රාජධානිය
කුරුණෑගල රාජධානිය
ගම්පොල රාජධානිය
කොට්ටේ රාජධානිය
සීතාවක රාජධානිය
මහනුවර රාජධානිය
පෘතුග්‍රීසි පාලනය
ලන්දේසි පාලනය
ඉංග්‍රීසි පාලනය
සිලෝන් අධිපතීන්
142
2 වන විජයබාහු රජතුමා
පොළොන්නරුව රාජධානිය
ක්‍රිව 1186 - ක්‍රිව 1187
2 වන විජයබාහු රජතුමාගේ මූලාශ්‍ර සහිත පරම්පරා සටහන සමග අපේ රාජ වංශයේ සියලුම රජවරුන්ගේ ක්‍රමානුකූලව නිර්මාණය කළ පරම්පරා සටහන් අධ්‍යයනය කිරීම සඳහා වර්ණවත් පිටු 650කින් සමන්විත "මහාවංස ප්‍රදීපිකාව" ග්‍රන්ථය ඔබත් අදම ලබාගන්න.

📞 දුරකථන: 0701 400 300
💬 WhatsApp: 0711 400 300

වැඩිදුර විස්තර සඳහා
King Vijayabahu II රාජ්‍ය නාමය : 2 වන විජයබාහු රජතුමා
රාජවංශය : කාලිංග
රාජධානිය : පොළොන්නරුව රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිව 1186 - ක්‍රිව 1187

දිවයින සරු කළ මහා පරාක්‍රමබාහු රජුගේ අභාවයෙන් පසු රජකමට පත් වුයේ කවීශ්වර පණ්ඩිත නම් කුමාරයෙකි. හෙතම අභිෂේකයේ දී විජයබාහු යන නාමය ලබා ගත්තේය. නිකාය සංග්‍රහයේ ඔහු පණ්ඩිත විජයබාහු නමින් දක්වයි. ඔහු මේ නමින් පෙනී සිටි දෙවැන්නා වන හෙයින් දෙවන විජයබාහු යනුවෙන් සැලකේ. නිශ්ශංකමල්ල කුමරු ඔහුගේ උපරාජයා වූයේය. මේ රජු කාගේ කවරෙක්දැයි මහාවංසය විස්තරයෙන් පැහැදිළි නොවේ. එහි දැක්වෙන්නේ විජයබාහු රජු මහා පරාක්‍රමබාහු රජුගේ බෑනා කෙනෙකු බව පමණි. එසේ නම් ඔහු පැරකුම්බා රජුගේ සහෝදරියකුගේ පුත්‍රයෙකු විය යුතුය. මහාවංසයේ දැක්වෙන අන්දමට මේ රජුට සිටියේ සහෝදරියන් දෙදෙනෙකි. මිත්තා හා ප්‍රභාවතී යනු ඒ දෙදෙනා වෙති.
 
මිත්තා කුමරිය සිරිවල්ලභ කුමරු විසින් තම පුත්‍රයා වූ මානාභරණ කුමාරයාට බලයෙන් පාවාදෙන ලද අතර ප්‍රභාවතී කුමරිය ද ඔහු විසින්ම පාවා ගත් බව මහා වංසයෙන් පෙනේ. ඇයට ලැබුණු පුත්‍රයා කිත්ති සිරිමේඝ නම් විය. මෙයට අමතරව භද්‍රවතී නමින් තවත් නැගණියක් පරාක්‍රමබාහු රජුට සිටි බව ද මහාවංසයෙන් පෙනේ. ඇය පෙළොන්නරුවෙහි රජ කළ ගජබාහු රජුට පාවා දුන් බව ද එහිම දැක්වේ. එසේ නම් රත්නාවලී දේවියට ලැබුණු දූවරුන් දෙදෙනාට අමතරව භද්‍රවතී නමින් තවත් සහෝදරියක් පරාක්‍රමබාහු රජුට සිටි බව මහාවංසයෙන්ම පෙනේ. එහෙත් මේ තිදෙනාටම කවීශ්වර පණ්ඩිත නමින් පුත්‍රයෙකු සිටි බවට කිසිදු සටහනක් නැත. මේ නිසා අපට පෙනී යන්නේ රජුට නම් සඳහන් නොවූ තවත් සහෝදරියක් සිටින්නට ඇති බවයි. කවීශ්වර කුමරු ඇයගේ පුත්‍රයෙකු විය යුතුය පොළොන්නරුවෙහි ඇති පුවරු ලිපියක විජයබාහු රජු ගැන සඳහන් වී තිබේ. එහි දැක්වෙන අන්දමට පරාක්‍රමබාහු රජු සිය වංශය මත්තට පැවැත්වීම සඳහා පූර්ව රාජයන් කරන ලද පරිද්දෙන්ම සිංහපුරයට යවා බෑණනුවන් වහන්සේ ගෙන්වා රාජ්‍යයට පත්කළ බව පැහැදිළි වේ.එසේම කුමාරයා ”හිමියා පට් බන්දවා" යනුවෙන්ද ලිපියෙහි සඳහන් වන බැවින් රාජ්‍ය උරුම කරුවා බවට පත්කළ බව ද පෙනේ.
 
මේ අනුව පෙනී යන්නේ කවීශ්වර කුමාරයා සිංහපුරයෙහි විසූ බවකි. එය කාලිංගයේ අගනුවර විය. උතුරින් මහා නදියත් දකුණින් ගෝධාවරී නදියත් අතර වූ කාලිංග ලංකා රජපෙළපත සමඟ බොහෝ සම්බන්ධතා පැවැත් වූ රටකි. මහාපරාක්‍රමබාහු රජුගේ වංසකථා වල සඳහන් නොවන තවත් සහෝදරියක් කාලිංග කුමාරයෙකුට පාවාදී සිට ඇගෙන් ලත් පුත්‍රයා කවීශ්වර නම් වූ බවට මේ අනුව සැලකිල්ලට ගත හැකිය.
 
වීරබාහු රජු ඉතා හොඳ යහපත් චරිතයක් ඇති කෙනෙකු හැටියට මහාවංසය දක්වයි. හෙතෙම රාමඤ්ඤ රජු සමඟ යහපත් සම්බන්ධ කම් ඇති කර ගත්තේය. පළමුවන විජයබාහු රජුගේ කාලයේ රාමඤ්ඤ රට සමඟ පැවති හිතවත් කම් මහා පරාක්‍රමබාහු රජුගේ කාලයේ දී පළුදු විය. වෙනත් අවස්ථාවක දක්වා ඇති පරිදි එයට හේතු වූයේ අරමනරට එවක පාලනය කරන ලද භුවනාදිත්ත (අලවුං සිතු) රජුගේ නොමනා ක්‍රියා කලාපයයි. දෙවන විජයබාහු රජු දූතයන් යවා එරට සමඟ හිතවත්කම් දියුණු කර ගත්තේය.
 
රාජ්‍යයට පත් වූ විජයබාහු රජුට විරුද්ධවාදීන්ගේ බලවේගයකට මුහුණ පාන්නට සිදු වූ බව මුලින් දක්වන ලද සෙල්ලිපියෙන් පැහැදිළි වේ. තමා රාජ්‍යයට උරුමකරුවෙකු බවට පත් කළ ද ඇතැම් රාජ ද්‍රෝහී අමාත්‍යවරුන්ගේ විරුද්ධකම් නිසා මේ තත්ත්වය උදාවන්නට ඇති බව සිතිය හැකිය. ඒ සමඟම රාජ්‍යය පැහැර ගැනීමට මාන බැලූ අවස්ථාවාදීන් මේ අතර සිටි බව පෙනේ. පැරකුම්බා රජතුමාගේ දැඩි පාලනයට එරෙහිව නැගී සිටීමට ශක්තියක් නොමැතිව සිටි බලවතුන් ටිකින් ටික හිස ඔසවන්නට සූදානම් වූ බව සිතිය හැකිය. මහාවංසයෙහි මේ තොරතුරු කිසිවක් සඳහන් කර නැත. විජයබාහු රජුට විරුද්ධව දුෂ්ට අමාත්‍යයන් විසින් කරන ලද මේ වියවුලෙහි දී රජුට පිහිටව සිටියේ විජයා යාන්න්තැන්තාවන් නම් ප්‍රබලයෙකු බව පෙනේ. සතුරන් මැඩ රජුට කළ මෙහෙවරට ඔහු වෙනුවෙන් කරන ලද ප්‍රත්‍යුපකාර ඉහතින් කී සෙල්ලිපියෙහි සඳහන් වී තිබේ.
 
විජයබාහු රජු සතුරන් කෙරෙහි ලිහිල් පිළිවෙතක් අනුගමනය කළේය. පරාක්‍රමබාහු රජු විසින් බන්ධනාගාර ගත කරන ලද බොහෝ දෙනෙකු නිදහස් කිරීමෙන් සහන සැලසීය. පූර්ව පාලන කාලය තුළ රාජසන්තක කර තිබූ ඉඩකඩම් නිදහස් කර ඔවුන්ට භාර දෙන ලදි. සමහර විට ඔහු මේ ක්‍රියා පිළිවෙල අනුගමනය කරන්නට ඇත්තේ ඔහුට විරුද්ධව සිටියවුන් අවනත කර ගැනීම සඳහා විය හැකිය. එහෙත් එයින් බලාපොරොත්තු වූ ප්‍රතිඵල නොලැබුණේය. මහින්ද නම් තැනැත්තෙක් දීපනී නම් ගොපලු ලියක ලවා රජු මරණයට පත් කළේය. මේ නිසා දෙවන විජයබාහු රජුගේ රාජ්‍ය කාලය වර්ෂයකට සීමා විය.
 
පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි 
 
මුල්පිටුව | රාජධානි | යටත්විජිත | රාජවංශ | රජවරු | මහාවංස ප්‍රදීපිකාව | අපි ගැන | අමතන්න
© www.mahawansaya.com සියලුම හිමිකම් ඇවිරිණි. 2009 / 2026 පිටපත් කිරීම හා අනවසරයෙන් භාවිතා කිරීම තහනම්