තුන්වන අග්ගබෝධි කුමරු රජකමට පත් වූ බව මුල් පරිච්ඡේදයකදී දක්වා ඇත. ඒ වන විට ඔහු බාලවයසෙහි සිටි බව ද පෙනේ. දෙවන සංඝ තිස්ස රජුගේ පුත්‍රයෙකු වූ ජෙට්ඨතිස්ස කුමරු මේ වනවිට මලය රටේ සැඟවී සිටියේය. අසිග්ගාහක සිලාමේඝ රජු ඔහු මැරීමට උපක්‍රම යෙදූ නමුත් එය ව්‍යර්ථ වූයේය. සිලාමේඝ රජුගෙන් පසු ඔහුගේ පුත්‍රයා වූ අග්ගබෝධි කුමරු ඉහත සඳහන් පරිදි සිරිසඟබෝ නමින් රජකමට පත් වූ පසු ජෙට්ඨතිස්ස කුමරු ඔහුට එරෙහිව නැගී සිටියේය. ඔහු පූර්ව දක්ෂිණ දේශයත් තම බලයට නතු කරගත්තේ ඉදිරියට පැමිණ අරිට්ඨගිරියෙහි කඳවුරු බැඳගත්තේය. මේ වනාහි වර්තමානයෙහි රිටිගල නමින් ද වංසකථාවල වෙනත් සිද්ධීන් සම්බන්ධයෙන් අරිට්ඨපබ්බත නමින් ද හැඳින්වෙන්නා වූ ද නුවර කලාවියේ පිහිටි උසස් කඳු පර්වතය හැටියට සැලකේ යැයි ඉහත අවස්ථාවක දී දක්වා ඇත. මේ භූමිය පෙර සිටම කැරලිකරුවන්ට ආධාරව පැවති ප්‍රදේශයක් බව මූලාශ්‍රයවලින් පැහැදිලි වෙයි.
මුලින් ද දුටු පරිදි අනුරාධපුරයට පිවිසීමට පළමුව බටහිර පෙදෙස අයත් කර ගත යුතු යැයි කල්පනා කළ ජෙට්ඨතිස්ස කුමරු දාඨාසිව නම් වූ ඇමතියා සේනාවක් සමග එහි යැව්වේය. සිදුවන්නේ කුමක්දැයි බලමින් කුමාරයා සිරිපිට්ඨ නම් තැන සිටියේය. මේ ස්ථානය හරිහැටි නිශ්චය නැතක් කුරුණෑගල දිශාවෙහි වූ වර්තමාන හිරි පිටිය වීමට පුළුවන.
අග්බෝ රජු එයට එකට එක කිරීමේ අරමුණින් තමාගේ උපරජ වශයෙන් කටයුතු කරන ලද මාණ කුමාරයා දාඨාසිව ඇමතියාට මුහුණ දීමට යැවීය. හෙතෙම සතුරා පලවා හැරියේ මයෙත් වැව නම් තැන දී රජුගේ සේනාව විසින් අල්ලා ගන්නා ලදී. මෙහිදී මාණ කුමරු ජයග්‍රහණය කළද දාඨාසිව අල්ලා ගැනීම නිසා කුපිත වූ ජෙට්ඨතිස්ස කුමරු රජු සමග වහා සටන් ආරම්භ කළේය. මේ සටනේදී අග්බෝ රජු පරාජයට පත් විය. දාඨාසිවද නිදහස් වන්නට ඇත. රජුගේ සේනාව බලවත් විපතට වැටුණු පසු රජ ඇතු පිට නැඟී පලා ගියේය. මේ නිසා දෙටුතිස් කුමරුට සිහසුන අල්ලා ගැනීමට හැකිවිය.
මෙහිදී අප පැහැදිලිව තේරුම් ගතයුතු කරුණක් නම් තුන්වන අග්බෝ රජු දෙවන වර රජකමට පත්වූයේ දෙටුතිස් රජුට පසුව බවය. එනිසා ඔහු ගැන මුලින් විස්තර විය යුතු වූ වත් ඒ ඒ රජවරුන්ගේ තොරතුරු ආමිශ්‍රව ඔවුන් යටතේම දැක්විය යුතු බැවින් ඉහත සඳහන් අන්දමට කරුණු පැහැදිලි කරන ලදී.
තුන්වන අග්බෝ රජු පළමුවරට රජවීමෙන් පසු ඔහු සමග සටන් කළ ජෙට්ඨතිස්ස කුමාරයා රජු පලවා හැර රජ කමට පත් වූ බව ඉහතින් දුටිමු. එනමින් හැඳින් වූ තෙවැන්නා ඔහු වන අතර ඔහු ලමැණි කටුසර දෙටුතිස් නමින් පූජාවලියේ හැඳින්වෙයි. මේ රජු සියලු කටයුතු හොඳින් පැවැත් වූ බව මහා වංසය දක්වයි. ඔහු මහා සැදැහැවතෙකු වූ බවද පෙනේ. ඔහු විසින් කරන ලද පුණ්‍යකර්ම මාලාවක් ද වාර්තා වී ඇත. මහාදාගිරිය අභගිරියට ද මහා මෙත්තබෝධිකය මහා විහාරයට ද ගොණ්ඩිගාමය ජේතවනයට ද ද ඔහු පූජා කළේය. රජුගේ සිත්ගත් මහානාග නම් තෙරනමක් වූහ. උන්වහන්සේට මාතුලංගණ හා උදුම්බරංගණ නම් ගම් දෙක පිදිය. තමන් බොහෝ ගම් බිම් පූජනීය ස්ථාන වලට පවරා දෙමින් වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය කරවමින් පෙර සිරිත අනුව ගියේය. ඔහුගේ රාජ්‍ය කාලය මාස පහක් පමණ වූ බව වංසකථා අනුව සැලකේ. එහෙත් වාර්තා වී ඇති පිරිදි ඔහු විසින් කරන ලද කටයුතු රාශිය එබඳු සුළු කලකින් කළ හැකි නොවන බව පැහැදිලිය.
ඉහත සඳහන් විස්තරය මෙහිලා දක්වන ලද්දේ මේ රජු කෙතරම් වේගයකින් තම කටයුතු ක්‍රියාත්මක කරන ලද්දේද යන්න පැහැදිලි කිරීම සඳහාය. මාස කීපයකින් රජවරුන් මාරුවන මහත් අවිනිශ්චිත කාලයක් මේ අනුව උදාවී තිබිණ. රාජ්‍ය ලෝබයෙන් මඩනා ලද කුමාරවරුන්ගේ සටන් නිසා මහජනතාව මහත් පීඩාවකට ලක්වී සිටියාය. රටේ සංවර්ධනය ද මේ අනුව පිරිහීමට පත් වු බවට සැක නැත.
ජෙට්ඨතිස්ස රජු බලාපොරොත්තු නොවූ පරිදි රටතුළ අර්බුද ඇති විය. මුලින් කී පරිදි දෙටුතිස් රජු සමග සටන් කර පැරදී දඹදිව ගිය තුන්වන අග්බෝ රජුගේ සහෝදරයන් රටේ තැන තැන වියවුල් ඇති කිරිමට පටන් ගන්නා ලදී. රජ කාලවාපියට ගොස් එහි වෙසෙමින් සතුරන් සමග සටන් කළේය. මේ අතර තුර තුන්වන අග්බෝ රජු දෙමළ සේනාවක් සමග පැමිණ ජෙට්ඨතිස්ස රජුට විරුද්ධව කාලවාපියට (කලාවැව) පැමිණියේය. මෙහිදී බලවත් වූ සතුරෝ බලවත් සටනක් ආරම්භ කළහ. තම සේනාව ප්‍රමාණත්
නොවන බව දුටු රජු ඉන්පසු තම ඇමැතියා වූ දාඨාසිව දෙමළ සේනාවක් ගෙන එනු සඳහා දඹදිවට පිටත් කළේය. එය කලක් ගතවන කටයුත්තකි. එහෙත් සටන එපමණ කලක් පවත්වා ගැනීමට රජුට නොහැකි විය. සටනින් පරාජය අත්වන බව දුටු ජෙට්ඨතිස්ස රජු තමාගේ දේවියට ඇමැතියෙකු අත පණිවිඩයක් යවා ඉදිරියට පැමිණි වෙළුප්ප නම් ද්‍රවිඩ නායකයාට මුහුණ දිය නොහැකි වූයේ සිරියෙන් ගෙළ සිඳගෙන මරණයට පත් වූයේය.
මහාවංසය එම සිද්ධිය මෙසේ දක්වයි. වෙළුප්ප නම් ද්‍රවිඩයා යුද්ධයට ආ පසු බුලත් මඩිස්සලයේ තිබූ සිරිය ගෙන තම හිස කපා ඇත් කඳ මත තබා සිරිස කොපුවෙහි බහාලිය. අභිමානිත්වය ධනය කළ වීර පුද්ගලයන්ගේ චරිත ලක්‍ෂණ මේ සිද්ධිවලින් එළි දරව් වෙයි. දේවියට ඇමතියා අත යැවූ පණිවිඩය මෙසේ විය.
" ප්‍රිය දේවිය පැවිදි වී අභිධර්මය ඉගෙන එය දේශනා කර මට පිං දෙනු මැනවි" යනුයි.
මේ පිළිබඳව වංසකථාවේ අපූරු පුවතක් විස්තර කර තිබේ. ඇමතියා පණිවිඩය බිසොව වෙත ගෙන ගියේය. ඇය එබස් අසා පැවිදිව ධර්මය ඉගෙන ධර්මාසනයෙහි වාඩි වී අභිධර්මය දේශනා කර රජුට පිං පැමිණ වූවාය. අනතුරුව රජු මිය ගිය ආකාරය
දක්වන ලෙස ඇමතියාට දන්වා සිටියාය. එකල ඇමතියා රජු මළේ මෙසේ යැයි සිරිය ගෙන තමාගේ ගෙළ සිඳගෙන සිරිය කොපුවෙහි බහාලිය. ඒ දුටු බිසෝ මෙහෙණ ද ළය පැලී මිය ගියාය.
තුන්වන අග්බෝ රජු නැවතත් රජ කමට පත්වූයේ මේ අන්දමේ ගැටුම්කාරී පසුබිමකට මුහුණ දීමෙන් පසුවය. ඔහුගේ කටයුතු මුල් පරිච්ඡේදයකදී පැහැදිලි කර ඇත. තුන්වන ජෙට්ඨතිස්ස රජුගේ රාජ්‍ය කාලය මාස පහක් විය.
පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි