125
4 වන සේන රජතුමා
අනුරාධපුර රාජධානිය
ක්‍රිව 954 - ක්‍රිව 956

4 වන සේන රජතුමාගේ මූලාශ්‍ර සහිත පරම්පරා සටහන සමග අපේ රාජ වංශයේ සියලුම රජවරුන්ගේ ක්‍රමානුකූලව නිර්මාණය කළ පරම්පරා සටහන් අධ්‍යයනය කිරීම සඳහා වර්ණවත් පිටු 650කින් සමන්විත
"මහාවංස ප්‍රදීපිකාව"
ග්‍රන්ථය ඔබත් අදම ලබාගන්න.
📞 දුරකථන:
0701 400 300
💬 WhatsApp:
0711 400 300
වැඩිදුර විස්තර සඳහා
රාජ්‍ය නාමය : 4 වන සේන රජතුමා
රාජවංශය : තුන්වන ලම්බකර්ණ (මානවම්ම)
රාජධානිය : අනුරාධපුර රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිව 954 - ක්‍රිව 956
සිව්වන උදය රජුගෙන් පසු රජකමට පත්වූයේ ඔහුගේ යුවරජව සිටි සේන කුමාරයාය. ඔහු ඒ නමින් පෙනී සිටි සිව්වැනි රජු විය. මේ රජුගේ මාපියන් පිළිබඳව මූලාශ්‍රයන්හි කිසිවක් සඳහන් නැත. මේ ගැන විමසා බැලීමට ආධාරවන සෙල්ලිපියක් මාතලේ දිශාවට අයත් කළුදිය පොකුණ නම් වූ ආරාමයෙන් ලැබී තිබේ. මේ ලිපියේ උදාමහ රජු ගැනත් විදුරා රැජිනක් ගැනත් මහසෙන් මහරජ් නම් රජ කෙනෙකු ගැනත් සඳහන් වී තිබේ. උදාමහ රජු නම් සිව්වන උදය රජු හැටියට සැලකීමට පුළුවන ලිපියේ අපේක්‍ෂිත බොහෝ කොටස් මැකී ඇති බැවින් සම්බන්ධය ගලපා ගැනීම අපහසුවේ. එසේ වුවද වංසකථාව සමග සසඳන කළ අනුපිළිවෙළ සාධාරණ අන්දමින් පැහැදිලි කර ගත හැකි වේ. විදුරා රැජ්න යනු මහාවංසයෙහි දැක්වෙන සිව්වන උදය රජුගේ අන්තඃපුරිකාවක් ලෙස සැලකිය හැකිද? යනු ගැටළුවකි. මන්ද? ඇය මහාවංසයෙහි අන්තඃපුරිකාවක් ලෙස පමණක් දක්වා ඇති හෙයිනි. එහෙත් ඇය රජු සමග එක් වී කරන ලද පිංකම් විස්තරය සලකා බලන කළ පෙනීයන්නේ ඇය ප්‍රබල තත්ත්වයක සිටි බවයි. අපේ විග්‍රහය අනුව මහාවංසයේ දැක්වෙන කරුණු තුලනය වන්නේ නම් සිව්වන සේන රජුගේ පරපුර සොයා ගත හැකි වෙයි.
ඉහතින් සඳහන් කරන ලද සෙල්ලිපියේ දැක්වෙන මහසෙන් මහරජ් යනු තුන්වන සේන රජු හැටියට සමහරුන් සලකා ඇත. එහෙත් මහාචාර්ය පරණවිතාන මහතා ඔහු සිව්වන සේන වශයෙන් ගනී. මේ සියල්ල එක්කර ගැනීමේදී සිව්වන සේන රජු ද සිව්වන උදය රජු ද විදුරා බිසොවගේ පුත්‍රයන් බව පෙනී යයි. දරුපල නැති සෙසු බිසොවරුන් හැර විදුරා දරුපල හේතුවෙන් රැජින බවට පත් වූවා වන්නට ඇත.
සේන රජුගේ රාජ්‍ය කාලය ඉතා කෙටි වූවකි. එහෙත් මහාවංසය මොහු ගැන උසස් වර්ණනාවක් කරයි. ඔහු මහා ප්‍රඥාවන්තයෙකි. කවියෙකි, ව්‍යක්තයෙකි. මිතුරු සතුරු සැමදෙනා වෙත මැදහත් වූවෙකි. දයාවෙන් හා මෛත්‍රියෙන් හැම ක විය. මේ නිසා කලට වැසි වැස්සේය. රටෙහි වසන සැම දෙන නිර්භයව සුවපත් වූහ. මේ වැනුම ඉතා කෙටි එකක් වුව ද රජෙකු පිළිබඳව කිවයුතු සියල්ල එහි අන්තර් ගත වී තිබේ. ඉතිහාසයෙන් පාලකයා ලැබිය යුතු ප්‍රයෝජන අතරින් මේ ආදර්ශය ඉතා වැදගත් වෙයි. පාලකයා අනිවාර්යයෙන් නුවණැත්තෙකු විය යුතුය. කාර්‍ය්‍යකාර්‍ය්‍ය සාධනය සිදුවන්නේ එවිටය. මෝඩයෙකුට පාලනයක් කළ නොහැකිය. ඔහු කවියෙකි. එයින් අදහස් කරන්නේ කවිපොත් ලිවීම නොවේ. සෞන්දර්‍ය්‍යකාමී ප්‍රතිභාවෙන් පූර්ණ පුද්ගලයෙකු බවය. සංවේදී සංයත හදවතක් ඉන් අර්ථවත් වෙයි. මේ නිසා රජු කෲරයෙකු නොවිය යුතු බව හඟවයි.
ව්‍යක්ත බව, අනෙකය. අදහස් පහදා දීම කාර්‍ය්‍යයන්හි යෙදවීම, සිත් අවනත කර ගැනීම, සදාචාරවත් භාෂාණය පාලකයාට අවශයය. මැදහත් බවද අර්ථවත් කළ යුතුය. සතුරු මිතුරු භේදයක් නීතිය ක්‍රියාත්මක කිරීමේදී නොවිය යුතුය රටක වියවුල් ඇති වී පාලනය බිඳවැටීමට හේතුවන දුර්ගුණය පක්‍ෂපාතී රාජ්‍ය පාලනයයි. රජුට පමණක් නොව ගම්ලද්දාගේ පටන් දුරුවිය යුතු මේ තත්ත්වය යහපත් පැවැත්මට බාධාවකි. එබැවින් පාලකයා මධ්‍යස්ථ විය යුතු බව මෙයින් අර්ථවත් කර ඇත්තේය. කලට වැසි ලැබීම භාග්‍යයකි. ස්වභාවධර්‍මය අනුව සිදුවන්නේ නමුදු මේවාට පාලකයාගේ ක්‍රියා කලාපය අදෘශ්‍යමානව හේතු වෙයි. රජු දැහැමි වන කල රට වැසියා දැහැමි වෙයි. එවිට එම දැහැමි ගුණාංග පරිසරයට අදෘශමානාකාරයෙන් බලපාන්නේය. පරිසරයේ යහ පැවැත්ම සංවර්ධනයට සුවිශේෂයෙන් බලපාන්නේ යැයි කිය යුතු නොවේ. වැව් අමුණු පිරි කෙත්වත් සරුවී, අටුකොටු පිරී යන්නේ මේ හේතුවෙනි. අලසකම් දුරුවී උට්ඨානවීර්‍ය්‍යයෙන් පෝෂණය වන ජනයා සුඛිත මුදිත බවට පත්වන්නේ මේ ක්‍රියාවලියේ අවසාන ප්‍රතිඵලය වශයෙනි. සිව්වන සේන රජුගේ කාලයේ දී මේ තත්ත්වය උදා වූ බව වංසකථාව පවසන්නේ මේ රජු පාලකයෙකු වශයෙන් මේ ගුණාංගවලින් පෝෂණය වී සිටි බවය. සියලු කල්හි පාලන තන්ත්‍රයට සම්බන්ධ වන සියලු වර්ගවල පාලකයන්ට මේ ආදර්ශය වැදගත් උපදේශයක් වේ.
සිව්වන සේන රජුගේ ආගමික කටයුතු කීපයක් ගැන ද වංසකථාව පැහැදිලි කර ඇත. භික්‍ෂූන්ට සූත්‍ර පිටකය දේශනා කිරීම, දළදා පූජාව පැවැත්වීම මින් සමහරක් වේ. විශේෂයෙන් සඳහන් කරන සිත්‍ථගාමයේ පිරිවෙනක් කරවීම වැදගත් වේ. රජු මුලින් වාසය කළේ මෙහි බව කියැවෙන හෙයිනි. මෙම සිත්‍ථගාම කොහි පිහිටියේ දැයි නිශ්චිතව කිය නොහැකිය. සමහරු එය රුහුණේ පිහිටා තිබූ බව ද රජරටට අයත් පෙදෙසක පිහිටා තිබූ බවද දක්වති. සිත්ථගාමයේ විසූ ධම්මමිත්ත තෙරුන් පවත්වන අද අභිධර්‍මවර්ණනාව සිව්වන මිහිඳු රජුගේ යුගයේ කෙරුණකි. පළමුවන විජයබාහු රජුගේ ආරක්‍ෂකයා වූ බුදල්නාවන් සිත්නරු බිම්හි අයත් ලෙස පනාකඩු තඹ සන්නස වාර්තා කරයි. මේ සියල්ලෙන්ම කියැවෙන්නේ එක් ප්‍රදේශයක් විය යුතුය. සිත්නරු යනු චිත්ත නගර යන්නට සමානය. තවත් පැහැදිලි කෙනෙකු කරතොත් සිංහල වචනයේ පාලි ස්වරූපය එය වෙයි. මනම්පිටියට
උතුරින් මුතුගල්ල පෙදෙසට තරමක් දුරින් පිහිටි වනගත කන්දකාඩු පෙදෙසේ ඇති පැරණි ආරාමයකට අයත් විශාල නටඹුන් අතර ඇති සෙල්ලිපියක මහචිත්තනකරක විහාර යන වචනය සඳහන් වෙයි. මේ ලිපිය දෙවන උපතිස්ස රජුගේ කාලයට අයත් වන බව පෙනේ. මේ ලිපියෙන් පැහැදිලි වන්නේ, නිසැක ලෙසම චිත්තගාම හෝ චිත්ත නගර, වර්තමාන කන්ද කාඩු පෙදෙසට අනුරූපවන බවයි. රා. වර්ෂ පූර්ව යුගයට වැටෙන තෙල්දෙණියේ බඹරගල විහාරයෙහි ඇති ලෙන් ලිපියක ද චිතනකර යන්න සඳහන් වී තිබේ. සේන රජු කරවන ලද පිරිවෙණට අයත් ගොඩනැගිලිවල ශේෂ විය හැකි කොටස් කන්දකාඩු පෙදෙසේ දැනටත් දක්නට ලැබේ. සිව්වන සේන රජු වර්‍ෂ තුනක් තරම් කෙටි කාලයක් රජකම් කළේය.
පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි