සිංහලේ රාජවංශයෙහි විශිෂ්ට කාර්මිකයකු ලෙස නමක් ඇති කරගත් ජෙට්ඨතිස්ස රජුගේ ඇවෑමෙන් පසු සිහසුනට පත්වූයේ ඔහුගේ පුත්‍ර බුද්ධදාස කුමාරයා ය. මෙතුමා ඉතිහාසයෙහි ප්‍රකාශ වී ඇත්තේ දක්‍ෂ වෛද්‍යවරයකු හැටියට මෙන් ම ශල්‍ය වෛද්‍ය කර්මයෙහි ද කෙළ පැමිණියකු හැටියට ය. මහාවංසය මේ රජු සියලු රත්නයන්ට සාගරය මෙන් ගුණයන්ට ආකරයක් මෙනැ යි දක්වමින් ආරම්භ කරන බුද්ධදාස රජුගේ කාර්‍ය්‍ය සාධනය ගාථා හැත්තෑ හතරකින් අවසන් කරයි.
ධනවත් වූ මේ රජ සියලු උපක්‍රම මගින් ජනතාවට සැප එළවීය. වෙසවුණු රජු ආලකමන්දාව මෙන් නුවර ආරක්‍ෂා කළේ ය. නුවණින් හා පිනින් යුක්ත වූයේ දශරාජධර්මයෙන් යුක්ත විය. සතර අගතියෙන් පියකු පුතකුට තොරව සතර සංග්‍රවස්තුවෙන් රට පාලනය කළේ ය. මෙන් ජනතාවට අනුකම්පා කළේ බෝධිසත්ව ආදර්ශය පෙන් වී ය. මේ අන්දමට පැහැදිලි කෙරෙන විස්තරයේ දී රජු දිළින්දන්ට ධනය දුන් බවත් සැපවත් වූවන්ගේ හෙවත් සම්පත් ඇත්තන්ගේ ධනය හා ජීවිත ආරක්‍ෂා කළ බවත් සඳහන් කරයි. සත්පුරුෂයන්ට සංග්‍රහ ද, අසත්පුරුෂයන්ට නිග්‍රහ ද කළ බව තවදුරටත් පෙන්නා දෙයි.
ඉහත සඳහන් විස්තරයෙන් පෙනී යන්නේ බුද්ධදාස රජුගේ චරිත ලක්‍ෂණයන් ය. ඔහු මහජනයාට බෝධිසත්වයකු මෙන් ක්‍රියා කළ ද සිරිසඟබෝ රජු මෙන් පාලකයකුට අයත් සීමාව ඉක්මාව නොගිය බවත් ඔහු නිවරදකරුවන්ට සංග්‍රහ කළා මෙන් ම වරදකරුවන්ට සම්මත නීතිය අනුව ක්‍රියා කළ බවත් පැහැදිලි ය. පරිපාලනයේ දී ඔහුගේ පැවති ධාර්මිකත්වය, සමාජ සේවා කාර්‍ය්‍යයෙන් වඩාත් ඔපමට්ටම් වූ බව ද පෙනේ. මහජනතාවගේ හද බැඳ ගන්නා සුලු · වෛද්‍ය සේවයේ රජ නිරත විය. හෙතෙම ශල්‍ය වෛද්‍ය උපකරණ හා ඖෂධ භාජනය යන එන හැම ගමනක ම ගෙන ගියේ ය. මහාවංසය මේ රජු විසින් කරන ලද අද්භූත ජනක ප්‍රතිකාර හතක් පමණ සිය විස්තරයට එක් කරයි.
ඉහත සඳහන් වූ පරිදි තිසාවැව අසල පිහිටි පුත්තභාග විහාර භූමියේ තුඹසක් මත වැතිරී සිටි නාගයකුට කරන ලද ප්‍රතිකාරය වඩාත් විස්මය ජනක වෙයි. උදරාබාධයෙන් පෙළුණු නාගයා ළඟට ගිය රජු නාගයාට මෙසේ කී ය. "තාගේ රෝගය මම දනිමි. ප්‍රතිකාර කළ හැකි වුවත් තා වහා කිපෙන සුළු වූවකු බැවින් තා ස්පර්ශ කළ නොහැකි ය. ප්‍රතිකාර නොකරත් සිටිය නොහැකි ය.” ඒ ඇසූ නාගයා පෙණය තුඹස ඇතුළට යැවී ය. රජු නාගයාගේ උදරය පළා ගෙඩිය ඉවත් කර ඌ සුවපත් කළේ ය. නාගයා රජුට සිය නාග මාණික්‍යය දුන්නේ ය. රජ එයින් අභයගිරි විහාරයේ ශෛලමය ප්‍රතිමාවේ නේත්‍රා තැබවී ය.
එක් භික්‍ෂු නමක් නොදැන ප්‍රාණීන් සහිත කිරක් ලැබ වැලඳී ය. පණුවන් වැඩී උදරාබාධයක් හටගැනුනේ ය. උන්වහන්සේ රජුට ඒ බව දැන්වී,ය. ඒ අවස්ථාවේ ම ලේ හැර පිළියම් කළ යුතු අශ්වයකු ද රජු වෙත ගෙනාවේ ය. රජ අශ්වයා විද ලේ ගෙන භික්‍ෂූන් වහන්සේට ඖෂධ ලෙස පානය කිරීමට දුන්නේ ය. උන්වහන්සේ එය වැලඳූ පද්‍රි ඔබවහන්සේ වැලඳූයේ අශ්ව ලේ යැ යි රජ දැන් වී ය. අමිහිරට පත් භික්ෂූන් වහන්සේ සියල්ල වමනය කළහ. මෙයින් පණුවන් පිටවීම නිසා උන්වහන්සේ සුවපත් වූහ. අශ්වයා ද සුවපත විය.
මෙවැනි ප්‍රතිකාර රාශියක් රජ කළේ ය. මේ සියලු ප්‍රතිකාරයන්ට වඩා විශේෂ වන්නේ මැඩියකු මොළය තුළ වැඩී පීඩාවට පත් මිනිසෙකුගේ හිස්කටුව පළා කරන ලද මහා ශල්‍යකර්මය යි. අනෙක් අතට රජ මානසික රෝගීන්ට ද ප්‍රතිකාර කළේ ය. කර්ම විපාකයක් වශයෙන් තමා කෙරෙහි වෛර බැඳ නිතර දෙවේලේ රජුට බැණ · වදින පුද්ගලයකුට රජු දඬුවම් නොදී ඔහුගේ මානසික තත්ත්වය වෙනස් කළේ විවිධ සංග්‍රහ කිරීමෙනි. මේ අන්දමින් ජනතාවගේ සෞඛ්‍ය සංවර්ධනය උදෙසා රජුගෙන් සිදු වූ මෙහෙය නිම නොවී ය. හෙතෙම දිවයිනේ ගමක් පාසා ආරෝග්‍යශාලා කරවා ඒවායෙහි සේවය සඳහා වෛද්‍යවරුන් පත් කළේ ය. එසේම ගම් දහයකට එක ප්‍රධාන වෛද්‍යවරයකු බැගින් පත් කළේ ය. කුඹුරුවල ආදායමින් විස්සෙන් එකක් (1/20) වෛද්‍යවරුන්ගේ වැටුප් පිණිස නියම විය. යුද්ධ සේනාවට වෙනම ප්‍රතිකාර සැලසුම් කළ අතර තිරිසන් සතුන් සඳහා ද වෛද්‍යවරුන් යෙදී ය. මේවායේ අනාගතය ගැන ද රජු සැලකී ය. වෛද්‍යවරුන් හා ආධුනිකයින් එහිලා ශික්‍ෂණය කරනු පිණිස වෛද්‍ය ශාස්ත්‍රයෙහි සියලු සාරය ගෙන සාරාර්ථසංග්‍රහය නම් වෙද්‍ය ග්‍රන්ථය ද ලිවී ය.
බුද්ධදාස රජතුමා ආරෝග්‍යශාලා කරවීම ඇරඹීමෙන් පසු දිවයිනේ නන්දෙස බිහි වී ගිය ඒවායේ තත්ත්වය මැන බැලීමට හැකිවන පසු කාලයට අයත් වූව ද ආරෝග්‍යශාලා කීපයක ශේෂ හමු වී තිබේ. මිහින්තලය, මැදිරිගිරිය, අරන්තැළේ වැනි තැන්වලින් පාදා ගෙන ඇති මෙබඳු ගණයේ ශේෂ විශේෂ වැදගත් කමක් දරයි. ලක්දිව මුල සිට ම සිටි වෛද්‍යවරුන් ගැන බ්‍රාහ්මී ලිපිවල පවා සඳහන් වේ. සමහර ලෙන් පිදූ දායකයන්ගේ වෘත්තිය වෙඣ යනුවෙන් ලිපිවල දක්වා ඇත. ඔවුහු වෛද්‍යවරු වෙති. දේවානම්පියතිස්ස රජුගේ වෛද්‍යවරයා ගොබුතිය නම් බමුණකු බව සෙල්ලිපිවලින් පෙනී යයි. මේ අය සමහර විට ආයුර්වේද වෛද්‍යවරුන් විය හැකි ය. එහෙත් මේ රටේ අතීතයේ සිට සිංහල වෛද්‍ය ක්‍රමයක් ද අඛණ්ඩව පැවත ආයේ ය. බොහෝ ඖෂධ ක්‍රම මෙන් ම චිකිත්සක ක්‍රම මේ සිංහල ක්‍රමයට පැවති බව පෙනේ. පසුව මේ ක්‍රම දෙක මිශ්‍ර වී ගියේ ය.
බුද්ධදාස රජතුමා සාසනයේ දියුණුවට ද මහත් සේවයක් කළේ ය. පෙර සිරිත් (පාලන නීතිය) මේ රජු අනුගමනය කරමින් සාසනය වෙනුවෙන් කළ යුතු සියලු කටයුතු නොපිරිහෙලා සිදු කළ බව පෙනේ. ධර්මදේශකයන්ට සත්කාර කිරිම, නිතර බණ ඇසීම, මේ
අතර විය. ධර්මදේශකයන්ට වැටුප් තැබීම වැදගත් කරණකි. මතු මේ ක්‍රමය දියුණු විය. පිරිවෙන්, දානසාලා, පිළිමගෙවල් ද මේ අතර කරවන ලදී. මහාවිහාරයෙහි මොණරපා පිරිවෙණ මේ රජුගේ කෘතියකි. එය පස්විසි රියන් වූ බව මහාවංසය කියයි. දැනට සිරිමාබෝධීන් වහන්සේට නිරිත දෙසින් මෙහි ගල්බැම් ආදිය දක්නට ලැබේ. මොණර පිරිවෙන් නඩත්තුව සඳහා දෙන ලද ගම් වූ සවණ හා ගොලපාණු යන ගම් දෙක අද හඳුනා ගත නොහැකි ය. මතු විස්තර වන ධාතුසේන රජු මේ ගොඩනැගිල්ල මඳක් උස්කර ප්‍රතිසංස්කරණයක් කළ බව කියැවේ. ඊට පෙර සිටි මහානාග රජු ද මෙහි දියුණුව සඳහා යම් යම් කටයුතු කර ඇත. දැනට මතුකර ඇති සැලැස්ම අනුව එය දිගින් අඩි 66 ක් ද පුළුලින් අඩි 45 ක් ද වේ. බුද්ධදාස රජුගේ නිර්මාණයේ ශේෂ හැටියට මෙහි ඇති ගල්කුළුණු දැක්විය හැකි ය. මේ යුගයේ දී තවත් වැදගත් සාසනික කටයුත්තක් සිදු විය. එනම් ධර්මකථි නම් තෙරුන් විසින් සූත්‍ර පිටකය හෙළ බසට නගනු ලැබීම යි.
මේ රජු රටේ ආර්ථික සංවර්ධනය සඳහා කටයුතු නොකළේ යැ යි කිය නොහැකි ය. මහසෙන් රජු විසින් කරවන ලද වාරි තාක්‍ෂණය මෙතුමා ද අනුගමනය කරන්නට ඇත. නොඑසේ විනි නම් මේසා වැඩ කොටසක් මහජනයා වෙනුවෙන් කිරිමට රජුට ඉඩ නොලැබෙනු ඇත. මෙවක රට ගොවිතැන් බතින් සරුව පැවති බව පෙනේ. මේ රජු වැව් කරවන ලද බව මහාවංසයේ දක්වා ඇතත් ඒවා නම් වශයෙන් හඳුන්වා නැත.
මේ රජුගේ කාලයට අයත් සෙල්ලිපි කීපයක් ද ලැබී තිබේ. එයින් රුවන්මැලි සෑය අසලින් ලැබුණු ලිපියක රජු සිරීමෙක පේටතිස මහරජ අපයහ පුත බුදදස මහසෙන මහරජ (ජෙට්ඨතිස්ස අභය මහරජුගේ පුත්‍ර බුද්ධදාස මහාසේන මහරජු) යනුවෙන් සඳහන් වේ. මහාසේන යන මුත්තණුවන්ගේ නාමය ද ඔහු භාවිත කළ බව ලිපියෙන් පෙනෙන තවත් කරුණකි. ලිපියෙන් කියැවෙන්නේ ටැඹක් කරවීම ගැන වුව ද එය රජුගේ කටයුත්තක් නොවේ. අන්‍යයකුගේ කාර්‍ය්‍යයකි. බෝවත්තේගලින් හා අරලගව්ලින් ලැබී ඇති ලිපිවල ද පුද පූජාවන් ගැන සඳහන් වෙයි. බුද්ධදාස රජුගේ කාලය තුළ රටේ සාමය පැවති බව ද පැහැදිලි ය. රජු නගරයේ ආරක්‍ෂාව සැලසූ බව මහාවංසය දක්වන බැවින් කිසියම් විදේශ ආක්‍රමණයක් වැනි සතුරු උවදුරක් ගැන රජු කල්පනා කළේ දැ යි සැලකිය හැක ය. එහෙත් එබන්දක් සිදු වූ බවක් නොපෙනේ. මේ රජුට පශ්චාත්කාලීන රජවරුන් විසින් මහත් සැලකිල්ලක් දක්වන ලද්දේ ද යන්න බොහෝ රජවරුන් මෙන් ම සමහර විට මේ රට ආක්‍රමණය කර පාලනය අල්ලාගත් විදේශිකයන් පවා එතුමාගේ බුද්ධදාස යන නාමය ගෞරව නාමයක් ලෙස යොදා ගැනීමෙන් පෙනී යයි. මේ රජ වර්ෂ විසිනමයක් රාජ්‍යය කළේ ය.
පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි