තම්මැන්නා නුවර
උපතිස්ස නුවර රාජධානිය
අනුරාධපුර රාජධානිය
චෝළ පාලනය
රුහුණු රාජධානිය
පොළොන්නරුව රාජධානිය
දඹදෙනිය රාජධානිය
යාපහුව රාජධානිය
කුරුණෑගල රාජධානිය
ගම්පොල රාජධානිය
කොට්ටේ රාජධානිය
සීතාවක රාජධානිය
මහනුවර රාජධානිය
පෘතුග්‍රීසි පාලනය
ලන්දේසි පාලනය
ඉංග්‍රීසි පාලනය
සිලෝන් අධිපතීන්
107
6 වන අග්ගබෝධි රජතුමා
අනුරාධපුර රාජධානිය
ක්‍රිව 733 - ක්‍රිව 772
6 වන අග්ගබෝධි රජතුමාගේ මූලාශ්‍ර සහිත පරම්පරා සටහන සමග අපේ රාජ වංශයේ සියලුම රජවරුන්ගේ ක්‍රමානුකූලව නිර්මාණය කළ පරම්පරා සටහන් අධ්‍යයනය කිරීම සඳහා වර්ණවත් පිටු 650කින් සමන්විත "මහාවංස ප්‍රදීපිකාව" ග්‍රන්ථය ඔබත් අදම ලබාගන්න.

📞 දුරකථන: 0701 400 300
💬 WhatsApp: 0711 400 300

වැඩිදුර විස්තර සඳහා
King Aggabodhi VI රාජ්‍ය නාමය : 6 වන අග්ගබෝධි රජතුමා
රාජවංශය : තුන්වන ලම්බකර්ණ (මානවම්ම)
රාජධානිය : අනුරාධපුර රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිව 733 - ක්‍රිව 772

පළමුවන මහින්ද රජුගෙන් පසු රජකමට පත්වූයේ අග්‍රබෝධි කුමාරයාය. ඔහු තුන්වන කාශ්‍යප රජුගේ පුත්‍රයා වෙයි. ඔහු මේ නමින් පෙනී සිටි සයවැන්නා විය. මෙහිදී රාජපදවිය පිළිබඳ සිදුවූ වැදගත් කරුණක් මහාවංසය වාර්තා කරයි. මහින්ද රජු අභාවයට පත් වන විට අගනුවරට පැමිණ සිටියේ දක්ඛිණ දේශය පාලනය කරමින් සිටි අග්‍රබෝධි නම් වූ කුමාරයාය. ඔහු මහින්ද ආදිපාද රජුගේ පුත්‍රයා වෙයි. එහෙත් පැවැති පිළිවෙත (පෙර සිරිත) අනුව රජ පදවියේ ඊළඟ උරුමකරු වූයේ පාචින දේශය පාලනය කරමින් සිටි තුන්වන කාශ්‍යප රජුගේ පුත්‍රයා වූ අග්‍රබෝධි කුමාරයාය. සාධාරණ උරුමය නොසලකා හරින ලද්දේ නම් මහින්ද ආදිපාද රජුගේ පුත්‍ර අග්‍රබෝධි කුමරු රජකම ලබාගත යුතුවිය. එහෙත් ඔහු එසේ නොකළේ වැඩිමහළු අග්‍රබෝධි කුමාරයා ගෙන්වා ඔහුට රාජ්‍යය භාර දුන්නේය. ඉහතින් සඳහන් කළ පරිදි ඔහු අග්‍රබෝධි නමින් රජ විය. ඔහුගේ අභිෂේක නාමය සිලාමෙඝ නම් වූයේය. හෙතෙමේ තමාට රජකම පැවරූ අග්‍රබෝධි කුමාරයාට උපරජ තනතුර දී දැඩි සහෝදරත්වයෙන් බැඳී සමගිව රටේ පාලනය ගෙන ගියේය. ඔහුගේ සේනාධිපති වූයේ තම බෑණා වූ දප්පුල නම් ආදිපාදයෙකි.
 
ඉහත සඳහන් අන්දමේ සමගියක් සමහරුන් බලාපොරොත්තු නොවූවා විය යුතුය. රාජ සභාවේ දූෂිත නිලධාරීන් සිටියාට සැක නැත. ඔවුන්ගේ අපරාධ වසා ගැනීම සඳහා උපරාජයාගේ මැදිහත් වීම බාධාවක් වන්නට ඇත. ඔවුහු රජුට කේළාම් කියා රජු බිඳ වූහ. මේ බව දැනගත් උපරජ නගරයෙන් පලාගොස් සේනාවක් සංවිධානය කරගෙන රජු සමග සටන් පිණිස එළඹියේය. කදලිනිවාත නම් තැනකදී සිදු වූ සටනින් පැරදුණු උපරජ මලය රටට පලා ගියේය. සිදු වූ, එහෙත් නොවිය යුතු ගැටුම ගැන දෙදෙනාම කල්පනා කළා විය යුතුය. අතෙහි පැවති රජකම තමාට ලබාදුන් සහෝදරයා නොවේදැයි රජ වැළපුණේය. මේ ඇසූ උපරජ ද මෘදු සිත් ඇති කර ගත්තේය. හුදෙකලාව මලය රටට ගිය අග්‍රබෝධි රජ සහෝදරයා සනසා කැඳවාගෙන නගරයට පැමිණියේ සිය දියණිය වූ සංඝා කුමරිය ද ඔහුට විවාහ කර දුන්නේය. සුරංගනා කථාවක් ලෙසින් ආරම්භවන ඉහත සඳහන් පුවත තවදුරටත්  මහාවංසය විස්තර කරයි. සංඝා කුමරිය පාවා දුන්නේ ඇයගේ සුළු පියාටය. මෙබඳු කරුණු රාජවංසයට එතරම් ගැටළුවක් නොවුණද එහිලා ගැටුමක් ඇති විය. අඹු සැමියන් අතර ඇති වූ සිද්ධියක් රජුට දැනගන්නට ලැබිණ. එනම් සැමියා ඇයට පහරක් ගැසීමයි. දියණිය එය සිය පිය රජුට වාර්තා කළාය. මෙහිදී තමා විසින් කරන ලද්දේ වරදකැයි කල්පනා කළ රජ සිය දියණිය කැඳවාගෙන ගොස් මෙහෙණවරක පැවිදි කරවීය. ඇයගේ මාමා කෙනෙකුගේ පුත්‍රයෙකු වූ අග්‍රබෝධි නම් තවත් කුමාරයෙක් සංඝා කුමරිය ගැන බැඳී සිටියේ, ඇය සිවුරු හරවා පැහැරගෙන රෝහණයට පලා ගියේය. මේ බව දැනගත් රජු සහ උප රජු එක්ව ඇය ගලවා ගැනීම සඳහා සේනාව ගෙන රෝහණයට ගොස් රුහුණ අත්පත් කරගෙන සංඝා කුමාරියද ගලවා ගත්තේය.
මෙහිදී පැහැදිලි කළ යුතු කරුණක් වෙයි. අග්‍රබෝධි රජතුමා තම දියණිය සරණ පාවා දුන්නේ තම පියාගේ සහෝදරයාගේ පුත්‍රයාටය. එවිට එය සුළු පියා (බාප්පා) හා දුව අතර විවාහයකි.
 
රජු මේ අසම්මත විවාහය කරන ලද්දේ සිය සහෝදරයාගේ විශ්වාසය දිනා ගැනීම පිණිසය, සංඝා කුමරිය පිළිබඳව සම්මත සම්බන්ධය වූයේ ඇයගේ මාමා කෙනෙකුගේ පුත්‍රයෙකු වූ අග්ගබෝධි නම් කුමාරයෙකු සමගයි. ඔහු ඇය පැහැරගෙන ගියේ ඒ නිසාය. මේ අග්බෝ කුමරු රජ පවුල සමග සම්බන්ධයක් තිබූ අවශ්‍ය ඥාතියෙකු විය යුතුය. නොඑසේ වී නම් රජුගේ දියණිය සරණකර ගැනීමට ප්‍රාර්ථනා නොකරනු ඇත. මා අදහස් කරන පරිදි ඔහු මේ කාලයේ රෝහණයේ පාලකයා ලෙස පත් වී සිටින්නට ඇත. ඔහුට විරුද්ධව ගිය අග්බෝ කුමරු මුළු රෝහණය යටත් කරගත් බව පැවසීමෙන්ද එය තහවුරු වෙයි. අවසානයේ බාප්පා දුව අතර විවාහය සතුටුදායක තත්ත්වයට පත් විය. ඉහතින් සඳහන් ගැටුම් නිරාකරණය වීමෙන් පසු අග්‍රබෝධි රජ ශාසනික කටයුතුවල නිරත වූයේය. වෙහෙර විහාර ගණනාවක් ද ඔහු විසින් කරවන ලදී. දීර්ඝ වූ රාජ්‍ය කාලයක් ඔහුට අයත්ව තිබුණද රජුගේ කටයුතු ගැන මහාවංසයෙහි එන්නේ සුළු විස්තරයකි. මෙහිදී සැලකිය යුතු කාර්යයක් නොවූයේය. ඔහු විසින් කරවන ලද ආර්ථික සංවර්ධනයාදී කටයුතු කිසිවක් වාරතා නොවේ. මේසා දීර්ඝකාලයක් රජ කළ මේ රජු විසින් කරන ලද කටයුතු ගැන වැදගත් විස්තරයක් වංශ කථාවල ඇතුළත් නොවීම පුදුමයකි. ශිලාලේඛනාදියකින්ද ඒ අඩුව පුරවා ගත නොහැකි වෙයි. මුලින් දක්වන ලද ගැටුම් හැරුණු විට මේ රජුගේ රාජ්‍ය කාලය තුළ වෙනත් අර්බුදයක් ඇති වූ බවක් ද නොපෙනේ. හයවන අග්‍රබෝධි රජුගේ කාලයට අයත් එක් සෙල්ලිපියක් නැඟෙනහිර පළාතේ තිරියායෙන් ලැබී තිබේ.
 
තිරියාය යනු දර්ශනීය කඳුගැටයක් මත ගොඩනගන ලද බෞද්ධ පූජනීය ස්ථානයකි. ත්‍රිකුණාමලය හොරව්පතාන මාර්ගයේ පන්කුලම් හන්දියෙන් හැරී ගෝමරන්කඩවල පාරේ එය පසුකර හෝ ත්‍රිකුණාමලය, නීලාවලිය පාරේ එය පසුකර කුච්චවේලියෙන් ගොස් හෝ නැතහොත් එය මාර්ගයේම පොදු කාට්ටු දක්වා ගොස් කලපුවෙන් එගොඩව ගොස් හෝ ළඟාවිය හැකි තැනකි. මාර්ග තුනම අතිදුෂ්කර වේ. ගිරිහඩු සෑය වශයෙන් ජනවහරේ එන මෙහි ශෛලමය ගොඩනැගිලි රැසක ශේෂ අතර දර්ශනීය වටදාගෙයක් වෙයි. තිරියායේ වටදාගෙයට යන දර්ශනීය පියගැටපෙළ අසළ පර්වතයක කොටා ඇති මේ ලිපිය ඉතා කෙටි එකකි. එසේම සංස්කෘත භාෂාවෙන් රචිත මේ ලිපියෙන් කියැවෙන්නේ ශිලාමේඝ නම් රජුගේ විසිතුන්වන රාජ්‍ය වර්ෂයෙහි
හැරී කිසියම් ලියවිල්ලක් ලිය වූ බවය. අග්‍රබෝධි රජුගේ අභිෂේක නාමය මෙයින් දැක්වේ. සමහර විට මේ සටහනින් දක්වන්නේ මේ ලිපියට ඉහතින් විශාල ගල් තලාවක ලියා ඇති සංස්කෘත පද්‍ය සෙල්ලිපිය ගැන විය යුතුය. එහි සඳහන් වන්නේ ගිරිඛණ්ඩි නම් චෛත්‍යයක වාසය කරන අවලෝකිතේශ්වර ඇතුළු මහායාන බෝධිසත්ත්ව වරුන්ට වන්දනා කිරීමකි. ත්‍රපුෂ්‍යක, වල්ලික (තපස්සු භල්ලුක) නමැති වෙළඳ ශ්‍රේණිය විසින් මේ ස්තූපය ගොඩනැගූ බව ඉන් කිසැවෙයි. බුදුරදුන්ගේ කේශධාතු ලබාගත් තපස්සු-භල්ලුක යන වෙළඳ දෙබෑයන් ලංකාවට පැමිණි බව සමහර ග්‍රන්ථවල සඳහන් වේ. මේ මතය අටවන සියවසේ සිට පැවැති බව මේ ලිපියෙන් පෙනේ. මහායාන බුදුදහමේ බලපෑම මේ යුගයේ සැලකිය යුතු මට්ටමකට දියුණු වී තිබූ බව මෙහි ඇති බෝධිසත්ත්ව වන්දනයෙන් පෙනීයයි. අග්‍රබෝධි රජුගේ රාජ්‍ය කාලය වර්‍ෂ හතළිහක් තරම් දීර්ඝ විය.

පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි
 
මුල්පිටුව | රාජධානි | යටත්විජිත | රාජවංශ | රජවරු | මහාවංස ප්‍රදීපිකාව | අපි ගැන | අමතන්න
© www.mahawansaya.com සියලුම හිමිකම් ඇවිරිණි. 2009 / 2026 පිටපත් කිරීම හා අනවසරයෙන් භාවිතා කිරීම තහනම්