මහාවංසය දක්වන හැටියට චූලනාග රජුගේ සහෝදරයා වූ ද කණිට්ඨතිස්ස රජුගේ දෙවැනි පුත්‍රයා වූ ද කුඩ්ඩනාග කුමරු මීළගට රජකමට පත් වූයේ ය. ඔහු සිය සහෝදරයා මරා දමා රජකම පැහැරගත් බව මූලාශ්‍රයවල සඳහන් වෙයි. මුල් පරිච්ඡේදයකින් දක් වූ පරිදි චූලනාග කුමරු දෙවන භාතියතිස්ස රජුගේ පුත්‍රයෙක් වූයේ නම්, කණිට්ඨතිස්ස රජුගෙන් පසු පෙර සිරිත අනුව ඔහු රජකමට පත්වීම නීත්‍යානුකූල වේ. කුඩ්ඩනාග කුමරු කණිට්ඨතිස්ස රජුගේ පුත්‍රයා හැටියට ඊ ළඟට රජකමට පත්වීම නීතියට එකඟ වෙයි.
මේ නම් දෙකට සම්බන්ධ චූල හෝ බුජ්ජ හා කුඩ්ඩ යන විශේෂණ මෙහි දී සලකා බැලීම ද අවශ්‍ය වෙයි. කුඩ්ඩනාග යන නාමයේ විකල්ප රූප කුංචනාග, කුණ්ඩනාග, කුඤ්ජනාග ආදී වශයෙන් මහාවංස පිටපත්වල ම දක්නට ලැබේ.
දිපවංසයේ කුජ්ජනාග යනුවෙන් සඳහන් වෙයි. චූල, බුජ්ජ, කුජ්ජ යන වචන තුනේ ම සාමාන්‍ය අර්ථය කුඩා යනු බව පෙනේ. එකම රජකුගේ පුත්‍රයින් දෙදෙනෙකු නාග නමින් මෙන් ම එය විශේෂණ කරන කුඩා යන අරුත් දෙන වචනවලින් පෙනී සිටීම සාමාන්‍ය සිරිත නොවේ. එබැවින් පළමුවැන්නා භාතියතිස්ස රජුගේ පුත්‍රයකු හැටියටත්, දෙවැන්නා කණිට්ඨතිස්ස රජුගේ පුත්‍රයකු හැටියටත් සැලකීම වඩා සාධාරණ වෙයි.
චූලනාග රජු මරණයට පත් කිරිමෙන් රජකමට පත්වූ කුඩ්ඩනාග කුමරු නරක ආදර්ශයක් නැවතත් ඇති කළේ ය. ඔවුනොවුන් මරමින් සිහසුනට ආරාවුල් ඇති කර ගන්නා සහෝදර රාජ කුමාරයන් නිසා රටේ අභාග්‍ය සම්පන්න කාල පරිච්ඡේදයකට මුල පිරෙනු පෙනේ. ශතවර්ෂ භාගයක් පමණ රටේ පැවති සමගිය බිඳ වැටී මහජනයා පීඩාවට පත්වී පාලන ශක්තිය ද දුර්වල වී යාමට පටන් ගැනේ.
කුඩ්ඩනාග රජුගේ කටයුතු දෙකක් ගැන මහාවංසය දක්වයි. මහාපාලි දන්හල වැඩි දියුණු කිරීමත්, එක්රැලි සාගතයේ දී භික්‍ෂූන් පන්සිය නමකට නොකඩවා දන්දීමත් ඒවා වෙයි. මහාවංසයෙහි දැක්වෙන ඒකනාලික ඡාතකෙ යන වචනය සමහරුන් ගෙන ඇත්තේ එක්හැලි වෙහෙර කියා ය. එහෙත් එයින් වෙහෙරක් අදහස් නොකෙරේ. මේ රජුගේ කාලයේ දී සාගතයක් ඇති විය. එක් සහල් නැලියෙන් ජීවත්වීමට සිදුවීම නිසා එය ඒකනාලි ඡාතක නම් විය. මේ සාගතය වර්ෂාව නොලැබීම නිසා ගොවිතැන් පාලු වීමෙන් සිදු වූ දෙයක් හැටියට සැලකිය හැකි ය. මේ රජුගේ රාජ්‍ය කාලය වර්ෂයකට පමණක් සීමා විය.
පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි