තම්මැන්නා නුවර
උපතිස්ස නුවර රාජධානිය
අනුරාධපුර රාජධානිය
චෝළ පාලනය
රුහුණු රාජධානිය
පොළොන්නරුව රාජධානිය
දඹදෙනිය රාජධානිය
යාපහුව රාජධානිය
කුරුණෑගල රාජධානිය
ගම්පොල රාජධානිය
කොට්ටේ රාජධානිය
සීතාවක රාජධානිය
මහනුවර රාජධානිය
පෘතුග්‍රීසි පාලනය
ලන්දේසි පාලනය
ඉංග්‍රීසි පාලනය
සිලෝන් අධිපතීන්
41
ඉලනාග රජතුමා
අනුරාධපුර රාජධානිය
ක්‍රිව 39 - ක්‍රිව 44
ඉලනාග රජතුමාගේ මූලාශ්‍ර සහිත පරම්පරා සටහන සමග අපේ රාජ වංශයේ සියලුම රජවරුන්ගේ ක්‍රමානුකූලව නිර්මාණය කළ පරම්පරා සටහන් අධ්‍යයනය කිරීම සඳහා වර්ණවත් පිටු 650කින් සමන්විත "මහාවංස ප්‍රදීපිකාව" ග්‍රන්ථය ඔබත් අදම ලබාගන්න.

📞 දුරකථන: 0701 400 300
💬 WhatsApp: 0711 400 300

වැඩිදුර විස්තර සඳහා
King Ilanaga රාජ්‍ය නාමය : ඉලනාග රජතුමා
රාජවංශය : පළමුවන මෞර්ය
රාජධානිය : අනුරාධපුර රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිව 39 - ක්‍රිව 44

සීවලි රැජිත සිහසුනෙන් නෙරපා දමා සිහසුන හිමිකර ගත්තේ ඉළග නම් වූ අයෙකි. ඔහු ආමණ්ඩගාමිණී අභය රජගේ බෑණා කෙනෙකු ලෙස වංසකථාවෙහි දැක්වේ. ඉළනාග කුමරු රජවීමෙන් පසු සිරිත් පරිදි තිසා වැවේ දියකෙළි පිණිස ලම්බකර්ණ වංශිකයන් ද පිරිව්රා ගෙන එහි ගියේය. මෙහි දී කිසියම් හේතුවක් නිසා ඔවුහු බොහෝ දෙනෙක් රජු අතහැර ආපසු ගියහ. මෙයින් කෝපයට පත් වූ රජු වැව් අසල සිට මහාථූපය දක්වා දිවෙන මාර්ගයක් 1 කරවීමට ආරම්භ කර ලම්බකර්ණ වංශිකයන් වැඩට යොදා ඔවුන්ගේ වැඩ පරීක්‍ෂා කිරිමට චණ්ඩාලයන්ට භාර කළේය. මෙයින් කිපුණු ඔවුහු රජු රජගෙදරදී ම සිරකර තබා රාජ්‍ය පාලනය සියතට ගත්හ.
 
මහාවංසයේ එන ඉහත සඳහන් සිද්ධියට අද්භූත ජනක පුවතක් ද මීළගට එක් වි ඇත. ඉළනාග රජුගේ බිසොව ස්වකීය පුතු චන්‍ද්‍රමුඛසීව නම් ළදරු කුමරුවා සරසා කිරිමවුන් අත මඟුලැතු වෙත යවා රජුගේ තත්ත්වය මඟුලැතුට කියා ළදරුවා ඇතාගේ පාමුල තැබවී ය. කාරණය තේරුම්ගත් මඟුලැතු යදම් බිඳගෙන රජු සිරකර සිටි තැනට පැමිණ සිරගෙය බිඳ රජු පිට හිඳුවාගන මාතොටට ගියේ ය. රජු නැව් නැගී ඉන්දියාවට ගිය අතර ඇතු බටහිර වෙරළ ඔස්සේ මලය රටට ගියේ ය. මහාවංසයේ එන මේ සිද්ධිය රාජරත්නාකරයේ ද දැක්වෙතත් රාජාවලියේ නොදැක්වේ.
 
ඉළනාග රජු වර්ෂ තුනක් තරම් කාලයක් විදේශගතව සිටියේ ය. මේ කාලය ලංකාවේ අරාජක යුගයක් හැටියට සඳහන් වෙයි. ඉළනාග රජු සිර කළ ලම්භකර්ණයන් රාජ්‍ය පාලනය සියතට ගත් බව මහාවංසය හා එම ටීකාව පැහැදිලි කරයි, චූලාභය රජුගේ වර්ෂ එකක රාජ්‍ය කාලයත්, සීවලී කුමරියගේ සිව්මසක රාජ්‍ය කාලයත් ගැන සලකන කල මේ යුගයේ රාජ්‍ය පාලනය පිළිබඳ කිසියම් අර්බුදයක් පැවති බව පැහැදිලි වේ. බල්ලාටනාග රජුගේ (110 -104) කාලයේ සිට හිස එසවීමට වරින් වර ප්‍රයත්න දැරූ ලම්බකර්ණ වංශිකයන් මේ අර්බුදයේ මූලිකයන් විය හැකිය. ඉළනාග කුමරු සිහසුනට පත් වූ වසරේ මේ අර්බුදය උග්‍ර වූයේ ඔවුන් මර්දනය කිරිම පිණිස දැඩි ක්‍රියා මාර්ගයක් රජු විසින් ගන්නා ලද හෙයින් විය යුතු ය. සමහර විට අප සිතනවාට වඩා ලම්බකර්ණයන් බලවත් වීමත්, ඔවුන් මැඩලීමට මෙබඳු පිළිවෙතක් අනුගමනය කරන්නට රජුට සිදුවුනා ද යන්නත් ගැන පැහැදිලි නොවේ. කෙසේ වෙතත් ඉළනාග රජු පළා ගිය පසු ඔහු ආපසු පැමිණිම දක්වා රාජ්‍ය තන්ත්‍රයේ පිළිවෙළ ගැන විස්තරයක් කිසිදු ලේඛනයක නොදැක් වේ. වියවුලක් ද මේ වර්ෂ තුන තුළ පැවති බවක් සඳහන් නොවෙතත් රාජ්‍යය අස්ථාවරව පවතින්නට ඇත. ලම්බකර්ණ වංශිකයන් රාජ්‍ය පාලනය කරගෙන යන්නට ඇත. රටවැසියා අතර ද කිසියම් අර්බුදයක් ඇති වූ බවක් ද නොපෙනේ. එහෙත් මේ ගැටුම රජ මැඳුර තුළට පමණක් සීමා වූයේ ද යනු නිශ්චය කළ නොහැකි ය.
 
ව්සර තුනකට පසු ඉළනාග රජු රෝහණයෙන් මතු වී එයි. ඔහු විදේශයේ සිට බලකායක් සහිතව පැමිණ එහි සක්ඛරසොබ්භ නම් වරායට ගොඩ බැස්සේ ය. මේ ස්ථානය පිළිබඳව වෙනත් සටහන් දක්නට නොලැබෙන හෙයින් තව ම හඳුනාගෙන නැත. නාමයේ හැටියට ගැලපෙන පරිදි සමහර විට එය වර්තමාන කිරින්ද වීමට ද පුළුවන. ඔහු ඊළඟට රෝහණයේ සිට සේනාව සංවිධානය කළේ ය. ඉළනාග රජුගේ අභිමතාර්ථයන් සඵල වන ලක්‍ෂණ ද මෙහිදී පහළ විය. දක්‍ෂිණමලයෙහි සිටි මඟුලැතු රජු සොයාගෙන රුහුණට ආවේ ය. රජුට තුලාධාර පර්වතවාසී මහාපදුම තෙරුන්ගෙන් කපි ජාතකයෙන් බණ අසන්නට ලැබුණේ ය. තුලාධාර විහාරය කිරින්දට නුදුරින් පිහිටි වර්තමාන නිමලව ආරණ්‍යය සේනාසන භූමිය හැටියට සලකන විට රජුගේ හැසිරීම් ප්‍රදේශය ගැන තීරණ අපට ගත හැකි ය. ධර්මදේශනාවට පැහැදී නාගමහා විහාරය දුනුදිය ඉවත් කළ දුනුමිටින් සියයක් පමණ කොට විශාල කර කරවී ය. මෙය දෙවනපෑතිස් රජුගේ සහෝදර මහානාග යුවරජු කරවන ලද නාගමහා විහාරය විශාල කරවීමකැ යි මහාවංසටීකාව දක්වයි. එහි ස්තූපය ද වර්ධනය කරවන ලදැ යි සඳහන් වේ. රුහුණේ ඇති ප්‍රධාන වැව් දෙකක් වූ තිස්ස හා දුරතිස්ස යන වැව් ද ඉළනාග රජු විසින් කරවන ලද බවට පිළිගෙන ඇත. ඒවා අද තිස්ස හා යෝධකණ්ඩිය වැව වශයෙන් හඳුනාගෙන ඇත.
 
ඉහතින් සහන් කළ කරුණු ගැන සලකන විට ඉළනාග රජු සෑහෙන කලක් රෝහණය පාලනය කරමින් සිටියේ ද යන ප්‍රශ්නය පැන නගී. රෝහණයේ කරන ලද ආගමික කටයුතු හා කෘෂි සංවර්ධන කටයුතු කඩිමුඩියේ කළ හැකි ඒවා ද නොවේ. සමහර විට ඔහු අනුරාධපුරයේ නැවත රජ වුවාට පසු මේ කටයුතු කරවී යැයි කෙනෙකුට අදහස් කළ හැකි වුවත් වංසකථා විස්තරයෙන් පැහැදිලි වන්නේ ඊට පෙර සිදු වු බවකි. රජරට සටනට යාමට සේනාව සූදානම් කරමින් වැසියාගේ සිත් දිනා ගැනීමට මේ කටයුතු කළා ද විය හැකි ය. එහෙත් ලක්දිව ගොඩ බැස කල් ඉක්ම නොයාදී ම මේවා කරන ලද බව පෙනී යන්නේ මීළඟ යුද්ධයේ දී සේනාව නැව් ගමනින් ක්ලාන්තව සිටි බව පැවසෙන හෙයිනි. දඹදිවින් ගෙනා මේ සේනාව කෙබඳු වී දැයි දැන ගැනීමට ද සාධක නැත.
 
ඉළනාග රජු ලම්බකර්ණ වංශිකයන්ට විරද්ධව දරුණු සටනක් කළේ ය. ඔහු සේනාව ගෙන කපල්ලක්ඛණ්ඩද්වාර නම් පෙදෙසේ හංකාරපිට්ඨි නම් කෙතෙහි දී සටනට එළඹුනේ ය. ලම්බකර්ණයෝ ඒකමතිකව ම කථිකාකොට රජුට මුහුණ දුන්හ. රජු පළවා හැරීමට ඔවුන්ගේ දැඩි අධිෂ්ඨානයක් විය. රජුගේ සේනාව නැව් ගමනින් විඩාව සිටියෙන් සටනේ දී පසු බසින්නට වූහ. මේ බව දුටු ඉළනාග රජු සිය රථය වේගයෙන් සතුරු සේනාව පීරා ගෙන ඉදිරියට ගියේ "මම ඉළනාග වෙමි” හඬ නගා පැවසී ය. එයින් බියපත් ලම්බකර්ණයෝ මුණින් වැටුණහ. රජු ඔවුන්ගේ හිස් සිඳ රිය නැබ තෙක් ගොඩකළේ තවත් ඉදිරියට රිය පදවා එසේම කළේ ය. මේ අන්දමට තෙවරක් ලම්බකර්ණයන් මරණ ලද්දේ ඉන්පසු "නොමරා අල්වව්”ය යි කියා සටන් කර ජය ලදින් අනුරාධපුරයෙහි දෙවන වරට සේසත් නැංවීය. රජු මෙයින් පසු පෙර සිරිත ලෙස තිසා වැවේ දිය කෙළි සඳහා ගියේ ය. මෙහි දී තමාගේ සම්පත් බලා මේ සම්පත් ලම්බකර්ණයන් තමාට අහිමි කරන ලද යි සිත් ඇති වී නැවතත් රජුගේ වෛරය ඔවුන් ගැන මතුවිය. ඔහු ඔවුන් ගොනුන් සේ රථවල යොදා තිසාවැවේ සිට ඇතුළු නුවර අග්ගපිඨකප්‍රාසාදය දක්වා පෙළට ඒමට සලස්වා එළිපතෙහි තබා ඔවුන්ගේ හිස් සිඳින ලෙසට නියම කළේ ය. එහෙත් රජුගේ මව් තොමෝ ඉදිරිපත් වී ඔවුන්ට දෙන දඬුවම ලිහිල් කළා ය. ඇය ඔවුන් ඔබේ රියේ යෙදූ ගොනුන් ය. අං හා කුර සිඳව යි කීවා ය. රජු ඔවුන්ගේ කන් හා පය මාපටැඟිලි කපා දඬුවම් කළේ ය.
 
නැවත අනුරාධපුරයෙහි සිහසුන ලබා ගැනීමෙන් පසු ඉළනාග රජු විසින් කරන ලද කිසි කාර්යයක් වංසකථාවලට ඇතුළත් වී නැත. එහි ලා සටහන් වන්නේ මංඟුලැතුව ඇතු සිටි වනාන්තරය දුන් බවත්, ඒ නිසා එම පෙදෙස හර්ථිභොග ජනපදය නම් වූ බවත් පමණකි, ඔහු රුහුණේ සිටි කාලය තුළ එහි කරන ලද ශාසනික කටයුතු මුලින් දැක්විණි, ඉළනාග රජුට රුහුණේ විශේෂ සම්බන්ධතාවක් තිබුණේ ද යන්න හා බඔහුගේ පරපුර ගැන විමසා බැලීමත් මෙහි ලා වැදගත් කරුණකි, මේ රජුගේ නාමය මහාවංසය, රාජාවලිය ආදී ග්‍රන්ථවල ඉළනාග වශයෙන් සඳහන් වන අතර රාජරත්නාකරය එළුත්නා ලෙස ද, පූජාවලිය කන්තා ලෙස ද දක්වයි. එහෙත් මොහුගේ මාපිය ආදීන්ගේ විස්තම් කිසිවක් වංසකථා දී ලේඛන වල නොදැක්වෙයි. ඔහුගේ රජ පවුලට තිබූ එක ම සම්බන්ධතාව ලෙස මහාවංසය දක්වන්නේ ඔහු ආමණ්ඩගාමිණී රජුගේ බෑණා වීම පමණි. මේ ඥාතිත්වය ඇති වූයේ ආමණ්ඩගාමිණී රජුගේ දියණිය සරණ පාවාගත් නිසා ද නැතහොත් ඔහුගේ සහෝදරියකගේ පුත්‍රයකු වූ නිසා ද යන්නට පැහැදිලි සාධක වංසකථාවල දක්නට ද නැත. "ආමණ්ඩගාමිණි රජුගේ දියණිය සීලී බිසොව කරගෙන කළුන්නා රජ වී යැ”යි පූජාවලිය දක්වත්තේ මහාවංසයේ නොදැක්වෙන පුවතකි. ඔහු ආමණ්ඩගාමිණී රජුගේ සහෝදරියකගේ පුත්‍රයකු වීමට නම් මහාදාඨික මහානාග රජුට දියණියක් ද සිටිය යුතු ය. එහෙත් වංසකථාවලින් මේ සඳහා කිසි සාධකයක් නොලැබෙයි. මේ නිසා ඉළනාග රජු සම්බන්ධව ඇති ඇතැම් තොරතුරු සොයාගෙන මහාවංස කථාවට ඌන පූරණයක් එක්කළ හැකිවන්නේ සෙල්ලිපි ආශ්‍රයෙනි. ඒ පිළිබඳව අපගේ අවධානය මඳක් යොමු කිරිම මැනවැ යි සිතමි.
 
තිස්සමහාරාමයේ ස්තූපය අසල තිබී හමු වූ සෙල්ලිපියක මහනක රජුගේ පුත්‍ර වූ අළුනක නම් වූ රජෙකු එම ස්ථානයට ගොළගම නම් ගමක් පූජා කරන ලද බවට සඳහන් කර තිබේ. මේ අළුනක, ඉළනාග රජු හැටියටත්, මහනක මහාදාඨිකමහානාග රජු හැටියටත් හඳුනා ගැනීමට පුරාවිද්‍යාඥයෝ එකඟ වෙති. මහාදාඨිකමහානාග රජුට එබඳු පුතෙකු සිටි බව වෙනත් ලේඛනවල සඳහන් නොවුණ ද ඔහු ආමණ්ඩගාමිණී රජුගේ බෑනා බැවින් එසේ දැක්වීමේ වරදක් ද නැත. අනෙක් අතට ඉළනාග රජු සිතුල්පව්වේ ඇති සෙල්ලිපියක නක රජ වශයෙන් සඳහන් වන බවට හඳුනාගෙන තිබේ. ලිපියේ මේ නාමයට මුලින් තිබූ අකුරු රාශියක් විනාශ වී ඇති බැවින් ලිපිය සම්පූර්ණයෙන් කියවීමට නොහැකි ය. ලිපියේ සඳහන් වන අන්දමට සිතුල්පව්ව විහාරයට විශාල ප්‍රමාණයක් කුඹුරු පූජා කර තිබේ. ඒ පූජාවන කරන ලද්දේ නක රජු හෙවත් හඳුනාගෙන ඇති පරිදි ඉළනාග රජු විසිනි. මෙහි දී තවත් වැදගත් සිද්ධියක් සමන්තපාසාදිකාවේ හා අත්‍ථසාලිනියේ දැක්වේ. ලංකාවේ මහානාග නම් රජෙකු විදෙස්ගතව සිට නැවත මෙහි පැමිණ තමාට හිමි සම්පත් ලබාගත් බව මේ විස්තරයේ කියැවේ. මේ රජු මහ තෙරනමකගේ ආශිර්වාදයෙන් ඒ සම්පත් ලැබීම නිසා පෙතබංගණ විහාරයේ යාවජීව වශයෙන් බෙහෙත් දානයක් දුන් බව ද මේ විස්තරයට ඇතුළත් වී ඇත. ඉහත සඳහන් වකවානුව තුළ විදේශගත වීමට හේතු ඇති වූ එක ම රජු ඉළනාග වූ බැවින් එම ග්‍රන්ථවල මහානාග නමින් පැහැදිලි වන්නේ ඉළනාග රජු විය යුතු බවට සැකකිරීමට හේතු නොපෙනේ.
 
අනෙක් අතට සිතුල්පව්වේ අත්හැර තිබූ ජලමාර්ගයක් අළන්දනාගරාප් මෙහෙසිය විසින් ප්‍රතිසංස්කරණය කරවා පුදන ලද පුවතක් ද සමන්තපාසාදිකා වේ සඳහන් වේ. මේ අළන්දනාගරාජ යනු ඉළනාග රජු ම විය හැකි ය. ඔහුගේ මෙහෙසිය තම පුද්ගලික නමින් සැඟවී රජුගේ නමින් පෙනී සිටි බව පෙනේ. මේ අන්දමට රෝහණයට අයත්ව දැක් වී ඇති සටහන්වලින් පෙනී යන්නේ ඉළනාග රජු බෙහෙවින් රෝහණයේ කටයුතු කර ඇති බවකි. ඔහුට රාජ්‍යය ලබා ගැනීම සඳහා රෝහණයේ ජනයාගෙන් ලත් උපකාරවලට කළගුණ සැලකීම පිණිස මේ අන්දමට කටයුතු කළා ද විය හැකි ය. ඉළනාග රජු පිළිබඳව රෝහණයෙන් ලැබෙන මේ තොරතුරුවලට අමතරව තවත් විස්තර රජරට ඇති සමහර සෙල්ලිපිවලින් හමුවෙයි. රත්ගල්ලේගම ලිපියක බවිඩක නම් විහාරයකට පූජාවක් කරන ලද බව සඳහන් කරන මහනක රජු ඉළනාග රජු හැටියට හඳුනාගෙන තිබේ. එසේ ම කදුරුවැව ලිපියක මහනක නමින් දැක්වෙන්නේ ද මේ රජු ම යැ යි සමහරුන් අදහස් කරතත් ඔහු මහාදාඨික මහානාග රජු බවට ඇති මතය නිවැරදි යැ යි සැලකිය හැකි ය. ඉපුල්වැහැර ලිපියක මහනක රජුගේ පුත්‍ර තිස ගැන කියැවෙන අතර ඉන් ඉළනාග හා ඔහුගේ පුත්‍රයකු අදහස් කර ඇති බව ද මේ අනුව පෙනී යයි.
 
අනුරාධපුරයෙහි දැනට වෙස්සගිරිය නමින් හැඳින්වෙන පැරණි ඉසුරුමුණි විහාර භූමියෙහි ඇති සෙල්ලිපි දෙකකින් ඉළනාග රජු ගැන තවත් වැදගත් තොරතුරු අනාවරණය වෙයි. මින් එක් ලිපියකින් මහනක රජු ඉසුරුමුනියේ වූ ස්තූපයක නඩත්තුව සඳහා අයිබරවික නම් වැව පුදන ලද බව ද එය මුලින් පුදා තීබී අවලංගු කර නැවත පුදන ලද බව ද ලිපියෙන් පෙන්නා දෙයි. මේ ලිපියේ දැක්වෙන මහනක රජු මුලින් දක්වන ලද සෙල්ලිපිවල සඳහන් වන්නාසේ ම ඉළනාග රජු හැටියට හඳුනාගෙන තිබේ. ලිපියේ සඳහන් වන මුලින් කරන ලද පූජාව අවලංගු වන්නට ඇත්තේ ඉළනාග හා ලම්බකර්ණයන් අතර ඇති වූ වියවුල් නිසා වන්නට ඇත. දෙවන ලිපියේ දැක්වෙන විස්තරය අනුව අයිබරවික වැවේ අයිතිකරුවා කුටුබික බුතය (බුත+අය) නම් කෙනෙකි. ඔහු මහබෝ වඩා ආ පරපුරට අයත් සතකර (සාතාගිරි) නම් අයකුගේ මුණුබුරෙකු හැටියට ලිපියේ දැක්වෙයි. බුතය තමාගේ අයිබරවික වැව් ඉසුරුමුණියට පුදන ලද බව ලිපියේ අවසාන කොටසින් කියවෙයි. ඉහතින් දුටු පරිදි මේ වැව සඳහා වූ මුල් පූජාව අවලංගුව තිබුණෙන්, මහනක රජු විසින් නැවතත් ඉසුරුමුණියට පුදන ලදී. මේ සම්බන්ධය ඉළනාග රජුගේ මා පියන් ගැන සොයා බැලීමට අපව පොළඹවයි. මහාචාර්ය සෙනරත් පරණවිතාන කියන හැටියට මේ ලිපියෙන් කියැවෙන දායකයා වූ බුතය ඉළනාගගේ පියා විය හැකි ය. පියා විසින් පුදන ලද වැව රජ වූ පසු ඉළනාග විසින් තහවුරු කරන ලදී. මහාවංස විස්තරය සෙල්ලිපි සමඟ ගලපා බලන කල පෙනී යන්නේ මහාදාඨිකමහානාගගේ දියණියක සරණ කරගත් බෝධාහාරකුලික බුතයට එම කුමරියගෙන් ලැබුණු දරුවා ඉළනාග වන බවයි. ඔහු ආමණ්ඩගාමිණි රජුට බෑණා වූයේ මේ නිසා ය. ඉළනාග රජු අවුරුදු හයක් අනුරාධපුරයේ රාජ්‍යය කළේ ය.

පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි 
මුල්පිටුව | රාජධානි | යටත්විජිත | රාජවංශ | රජවරු | මහාවංස ප්‍රදීපිකාව | අපි ගැන | අමතන්න
© www.mahawansaya.com සියලුම හිමිකම් ඇවිරිණි. 2009 / 2026 පිටපත් කිරීම හා අනවසරයෙන් භාවිතා කිරීම තහනම්