සිය බිසොවගේ දුෂ්ට ක්‍රියාවෙන් මරණයට පත් වූ උපතිස්ස රජුගෙන් පසු රජකමට පත් වූයේ මහානාම කුමාරයා ය. හෙතෙම මුලින් පැවිදි වී සිටියේ ය. රජු මළ පසු සිවුරු හැර විත් රජකමට පත් විය. බුද්ධදාස රජුගේ බාල ම පුත්‍රයා මොහු විය. බුද්ධදාස රජුගේ සෙසු පුතුන් පිළිබඳ කිසිදු තොරතුරක් ඓතිහාසික ලේඛනවලින් හමු නොවේ. සමහර විට බුද්ධදාස රජුගේ අගමෙහෙසියගේ පුත්‍රයන් දෙදෙනෙකු පමණක් වන්නට ඇත. එනම් උපතිස්ස හා මහානාම කුමරුවන් දෙදෙනා ය. අනෙක් කුමරුවන් ද ෆින්නමාතෘක වන්නට ඇත. උපතිස්ස රජුගේ මරණයෙන් පසු බාලම කුමාරයාට රජකම හිමි වූයේ ද ඒ නිසා විය යුතු ය. මහානාම රජු තම සහෝදරයා ඝාතනය කළ ඔහුගේ බිසොව තමාගේ ද බිසොව කරගත්තේ ය. ගිලන්හල් කරවීම්, මහාපාලි දානශාලාව වර්ධනය කිරීමත්, ලෝහවාර, රලග්ගාම හා කෝටපස්සාව යන විහාර සැදවීමත් මේ රජුගේ ශාසනික කටයුතු ලෙස මහාවංසය සඳහන් කරයි. එම විහාර පුදන ලද්දේ අභයගිරි විහාරයට බව පෙනේ. එහෙත් ඔහුගේ බිසොව දිඹුලාගල ආරාමයක් කරවා ථෙරවාදී භික්‍ෂූන්ට පූජා කළා ය.
මහානාම රජුගේ කාලයේ දී ශාසනික වශයෙන් වැදගත් සිද්ධි කීපයක් සිදු විය. දඹදිව සිට බුද්ධඝෝෂ තෙරුන්ගේ මෙහි පැමිණීම ඉන් පළමුවැන්න ලෙස සැලකිය හැකි ය. මුලින් බමුණු තරුණයකු වූ උන්වහන්සේ දඹදිව දී රේවත නම් තෙර කෙනෙකු වෙත පැවිදිව ධර්මය ඉගෙන එහිදී ම ඤාණෝදය ප්‍රකරණයත්, අත්ථසාලිනි නම් වූ ධම්මසංගිණී අටුවාවත් කළහ. සියලු අටුවා මෙම දිවයිනෙහි පවතින බව දැනගත් උන්වහන්සේ ලක්දිවට පැමිණියහ. මෙහි සිටි සංඝපාල මහතෙරුන්ගෙන් සිංහල අටුවා හා ථෙරවාදි ධර්මය ඉගෙන ඒවා පාලියට නගන ලද්දේ මේ තෙරුන් විසිනි. ත්‍රිපිටකය අලලා ලියන ලද මා හැඟි ධර්ම ග්‍රන්ථයක් වූ විසුද්ධිමග්ගය ද මුන්වහන්සේගේ කෘතියකි. මේ පිළිබඳ විසිතුරු කථා වංසකථාවලට ඇතුළත්ව තිබේ. දඹදිව සම්පූර්ණ අටුවා නොවූ නිසා එතුමාට මෙහි පැමිණිමට සිදුවිය. බුද්ධඝෝස ආචාර්යයන් වහන්සේගේ කෘතියක් වූ අංගුත්තර නිකාය අට්ඨකථාවෙහි දකුණු ඉන්දියාව සමඟ තමන්ගේ තිබූ සම්බන්ධය පැහැදිලි කෙරෙන අතර තමන් කලක් කාංචියේ වාසය කළ බව ද ප්‍රකාශ වී ඇත. දැනට ඇති පාලි අට්ඨකථා වැඩි ප්‍රමාණයක් මුන්වහන්සේගේ කෘති වෙයි. මේ වැදගත් කාර්‍ය්‍යය බුද්ධඝෝෂ තෙරුන්ට මෙරට භික්‍ෂූන් විසින් භාර කරන ලද්දේ ඊට සුදුසු පාණ්ඩිත්‍යය එතුමා සතුව තිබේ දැයි යන්න පිළිබඳ මනා පරීක්‍ෂණයක් ද කිරීමෙන් පසුව බව පෙනේ.
බුද්ධඝෝස හිමියන් විසින් සමන්තපාසාදිකා හා ධම්මපදට්ඨ කථා ග්‍රන්ථ දෙක කරන ලද කාලයේ මෙහි සිටි රජු සිරිනිවාස හා සිකුඩ්ඪ යන නම්වලින් හඳුන්වා තිබේ. මෙය මහානාම රජුට තිබූ ගෞරවනාම උපපදයක් ම විය යුතු ය. මීට සමාන අර්ථ ඇති තිරිපල හා තර්පල යන උපපද මේ රජු සඳහා සෙල්ලිපිවල යෙදී තිබේ.
මුලින් රජකළ උපතිස්ස රජුගේ මෙන් ම මහානාම රජුගේ කාලයේ ද ලංකාව චීනය සමග බොහෝ සම්බන්ධතා පවත්වා ඇත. 405 - 415 අතර කාලයේ දී චීනයේ ත්සිං පෙළපතේ හියාඕ ඔ ඉන් රජු වෙත බුදු පිළිමයක් තෑගි කරමින් දූත පිරිසක් ලංකාවෙන් යවන ලද බව චීන ලේඛනවල දැක්වෙයි. මේ දූත පිරිස වර්ෂ 10 ක පමණ කාලයක් අතරමගදී ප්‍රමාදව චීනයට පැමිණ ඇත. ලංකාවේ රජුගේ නම චීන ලේඛනයේ සඳහන් නොවූව ද එය පළමුවන උපතිස්ස රජු දවස සිදු වූවක් හැටියට වියත්තු දකිති. ලංකාවේ සිටි ත්සාලි - මොහොනාන් රජු චීන රජු වෙත පඬුරු සහිතව සන්දේශයක් යැවී ය. මෙය ක්‍ෂත්‍රීය මහානාම යන නාමය චීන භාෂාවෙන් ලියා ඇති ආකාරය යි. ලංකාවේ නිෂ්පාදිත ද්‍රව්‍ය රැගෙන දූත පිරිස් 2 ක් ද චීනයට ගිය බව පෙනේ. මෙහි දී විශේෂයෙන් වැදගත් වන කරුණක් නම් චීනයේ මෙහෙණි සස්න පිහිටුවීම පිණිස ලංකාවෙන් ගිය මෙහෙණින් වහන්සේලාගේ සහභාගිත්වය යි. මේ භික්‍ෂූණී පිරිසේ තෙසේරා මෙහෙණින්ගේ උපාධ්‍යායත්වයෙන් චීන සාමණේරියන් උපසම්පදා කොට භික්‍ෂුණි ශාසනය එහි පිහිටුවන ලදී.
රාජ වර්ෂ පූර්ව 217 කට පෙර චීනයට බුදු දහම පැමිණ තිබිණි. භාරතයේ කණිෂ්ක රජ පරපුරේ වූ හුවිෂ්ක රජුගේ කාලයේ දී භික්‍ෂූන් හත්නමක් චීනයට වැඩියහ. චීන අධිරාජයා උන්වහන්සේලා සිරභාරයට ගත්තේ ය. කාශ්‍යප මාතංග හා ගොභරණ තෙරවරු බුදු පිළිමයක් ද රැගෙන රා. ව. 67 දී චීනයට පැමිණියහ. මෙයින් පසු චීනයේ බුදු දහම පැතිරී ගියේ ය. රා. ව. 250 දී ඉන්දියාවේ සිට ධර්මාකර නම් තෙර නමක් මුල් වී චීනයේ සීමාවක් පිහිටුවා උපසම්පදා විනය කර්මය කරවී ය. මේ අනුව ලංකාවේ මහානාම රජු දවස වන විට චීනයේ බෞද්ධ ප්‍රබෝධයක් ඇති වී තිබිණි. මේ තත්ත්වය මත චීනය හා ලංකාව අතර මේ යුගයේ සම්බන්ධකම් දියුණු වී ගියේ ය. මීට අමතරව පෙර පටන් පැවති වාණිජ සම්බන්ධතා ද එසේ ම දියුණුව පවතින්නට ඇති බවට සැක නැත. චීනය දක්වා එක් පැත්තකින් ද අනෙක් අතින් පර්සියාව දක්වා ද පැතිර තිබූ වාණිජ අන්තර්ජාලයේ මධ්‍යස්ථානය ලංකාව බව පැහැදිලිව ම පෙනේ. සුදු සේද අවාණක් අභයගිරියට පූජා කළ චීන වෙළෙන්දෙකු ගැන සඳහන් වීමෙන් මෙය තවත් අර්ථවත් කරයි.
පැමිණියේ ද මහානාම රජුගේ කාලයේ දී බව පෙනේ. වයස 65 දී ප්‍රසිද්ධ චීන සංචාරකයෙකු වූ පාහියන් තෙරුන් වහන්සේ මෙහි
චීනයෙන් පිටත් වූ මෙතුමා වර්ෂ 15 කට පසු ආපසු චීනයට ගියේ ය. වර්ෂ දෙකක් මෙහි නැවතී සිටි උන්වහන්සේ සිය සංචාරක වාර්තාව ලිවීමේ දී ලංකාව ගැනද දීර්ඝ විස්තරයක් කර ඇත. අපේ මූලාශ්‍රයවල සඳහන් නොවන ලංකාව පිළිබඳ ඇතැම් තොරතුරු මෙහි සටහන් කර තිබේ.
මේ රජුගේ කාලයේ දී පිහිටුවන ලද සෙල්ලිපි කීපයක් ද ලැබී ඇත. ඒවායින් කියැවෙන්නේ ආරාමවලට කරන ලද පුද පූජා පිළිබඳ විස්තරයකි. මෙයින් මොණරාගල රජමහා විහාරයෙන් ලැබුණු ලිපියේ තිරිපල මහනම ජෙටතිස යනුවෙන් ද මහානාම රජුගේ නම සඳහන් වෙයි. මේ අනුව ඔහු තමාගේ මුත්තණුවන්ගේ හා පියාණන්ගේ භාවිත කළ බව පෙනී යයි. මේ රජුගේ කාලයට අයත් තිස්සමහාරාම පුවරු ලිපියෙහි මහා විහාරයට කරන ලද පූජාවක් ගැන සඳහන් වෙයි. මහගම රජ්මහවිහර යනුවෙන් එහි දැක්වෙන විහාරය තිස්සමහාරාමය විය හැකි ය.
මහානාම රජුගේ රාජ්‍ය කාලය තුළ දිවයිනෙහි සාමකාමී වාතාවරණයක් පැවති බව පෙනේ. මේ යුගය තුළ අභ්‍යන්තර හෝ බාහිර ආක්‍රමණ ආදී දේශපාලන ගැටළුවක් ඇති වූ බවට සාධකයක් නැත. මහසෙන් රජුගේ කාලයේ ඇති වූ ශාසනික අර්බුදය හැරෙන විට මහානාම රජුගෙන් අවසන් වන වර්ෂ එකසිය තිහක තරම් කාලය තුළ දේශපාලන අර්බුදයක් ලෙස කිවහැකි නම්, සිදුවී ඇත්තේ මහානාම කුමරු අපේක්‍ෂාවෙන් උපතිස්ස රජුගේ බිසොව තම ස්වාමියා වූ රජු ඝාතනය කිරීම පමණි. එය රජමැඳුරේ ඇති වූ අභ්‍යන්තර ප්‍රශ්නයක් පමණක් වූ බව පෙනේ. මේ අනුව ශතවර්ෂයකට වැඩි කාලයක් රටේ සාමය හොඳින් පැවති බව නිසැක ය. රජවරුන්ගේ පැවැත්මෙන් රට ආර්ථීකත්වයෙන් සරුවීමත්, බාහිර සතුරු ආක්‍රමණ එල්ල නොවීමත් මෙයට හේතු වූවා විය හැකි ය. උපතිස්ස රජුගේ කාලයේ ඇති වූ දුර්භික්‍ෂය දුර දිග යාමට පෙර අවසන් කර ගැනීම නිසා මේ තත්ත්වය මහානාම රජුගේ අවසානය දක්වා පැවතියේ ය.
වසභ රජුගෙන් ආරම්භ වුණු පළමුවන ලම්බකර්ණවංශික රජ පෙළපතට කෙළින් ම සම්බන්ධ වන රජ පරපුර මහානාම රජුගේ අභාවයෙන් පසු අවසන් වූ බව පෙනේ. ඔහුගේ අගබිසොවට පුත්‍රයකු සිටි බවක් ද නොපෙනේ. මහානාම රජු දෙවිසි වසක් රාජ්‍යය
කළේ ය.
පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි