මුලු දිවයින එක් පහනක් බවට පත්වන සේ පහන් පූජා කළ, එයින් මේ රට පහන් කළ මහාදාඨික මහානාග රජුට පුත්‍රයෝ දෙදෙනෙක් වූහ. ආමණ්ඩගාමිණී අභය මින් ජ්‍යෙෂ්ඨ පුත්‍රයා විය. රජුගේ අභාවයෙන් පසු ඔහු සිහසුනට පත්විය. මේ කුමරු සිය පියරජුගේ කාලයේ දී රාජ්‍ය අනුප්‍රාප්තිකයා හැටියට දක්ඛිණ දේශයේ යුවරජු ලෙස කටයුතු කරන්නට ඇති බව පෙනේ. මේ රජවරුන්ගේ නාම පිළිබඳව ද සලකා බැලීම වැදගත් ය. සිංහළේ මහා රාජවංශෙ තුළ සමහර රජවරුන් සඳහා භාවිත වී ඇති ඇතැම් නම් පිළිබඳ විවිධ අදහස් පළවී තිබේ. මේ රජතුමාගේ නාමය මහාවංසයෙහි මෙන් ම දීපවංසයේ ද දක්වා ඇත්තේ ආමණ්ඩගාමිණි අභය වශයෙනි. රාජාවලිය, රාජරත්නාකරය වැනි ග්‍රන්ථවල අඩගැමුණු වශයෙන් ද, නිකාය සංග්‍රහයේ අමඩගැමුණු ලෙසින් ද දක්වා තිබේ. ශිලා ලේඛනවල දෙවනපිය ගමිණි අබය මහරජ, අමඩගමිණි අඛ හා ගම්ණි අබය හැටියට සටහන් වී තිබේ.
ගාමණි අභය රජුට ආමණ්ඩ කොටස එක්වීමට හේතුව මහාවංසය දක්වයි. මේ රජු ගෙඩිහටගන්නා සියලු පළවැල වර්ග වවා ඒවායේ ඵල එක්කොට මකොමඩු නම් දානයක් දුන්නේ ය. මේ දානය නිසා ඔහුට ආමණ්ඩ නම් විශේෂණය වී යැ යි එහි සඳහන් වේ. පළතුරු (කොමඩු) දන්දීමකින් රජෙකුට නමක් පටබැඳීම විය හැකි ද? යනු සැකයකි. මේ රජුගේ සෙල්ලිපිවල පවා අමඩ වචනය යෙදී ඇති බැවින් මෙය නොසලකා හැරිය හැකි ද නොවේ.
අටවන සියවසේ පමණ ලියැවුණූ සීගිරි ගීවල අමඩ් ශබ්දයක් දක්නට ලැබේ. එහි අර්ථය පැණිකොමඩු නම් පළතුරු යන්න වේ. පෙළබස්හි ආමණ්ඩ වචනයේ අර්ථය එරඬු හෝ නෙල්ලි යනු ය. දේශීය වෛද්‍ය කෝෂය ද මේ අර්ථය ම දෙයි. ආමණ්ඩ ශබ්දයේ කොමඩු අර්ථයක් නැති බව මෙයින් පෙනේ. එසේ නම් ආමණ්ඩ යනු සැඟවුණු වෙනත් අර්ථයක් ඇති වචනයක් විය යුතු ය. එසේ නැතහොත් සිංහල අමඩ් ශබ්දය, ශබ්ද සාම්‍යයෙන් ආමණ්ඩ යැ පෙළබසට නැගුණු සේ ද සිතිය හැකි ය. එහෙත් එහි ඇත්තේ පැණිකොමඩු අර්ථය ය. රජු ශාක භක්‍ෂක සමාජයක් ගැන කල්පනා කිරීම මේ නම එක්වීමට හේතුවන්නට ඇත.
ආමණ්ඩගාමිණී රජුගේ කටයුතු පිළිබඳව දීපවංසය හා මහාවංසය කෙටි විස්තරයක් දක්වා ඇත. ඔහු පළමුව මහාථුපයට තවත් ඡත්‍රයක් කරවා එහි පාදවේදිය හා මුද්ධවේදිය ද කරවීය. මීට ප්‍රථම භාතිකාභය රජු ද මහාථූපයේ මුද්ධවේදිය කරවූ බව පසුගිය පරිච්ඡේදයකින් අපි දුටිමු. ඉන් වසර තිස්හතරකට පසු රජ වූ මේ රජුට ද මුද්ධවේදියක් කරවීමට සිදුවූයේ මක්නිසා ද? මුල් කාලයේ ස්තූපවල මුද්ධවේදිය (සතරැස් කොටුවේ වටා ඇති ගරාදි වැට) දැවයෙන් කර තිබූ බව පෙනේ. එක් ස්තූපයක මුද්ධවේදිය ඇතුළු ඉහළ අංගවල තුන් වසරකට වරක් ආරක්‍ෂක තෙල් ගෑමට නියම කර තිබීමෙන්ම එය පැහැදිලි වෙයි. මේ අනුව මේ යුගයේ රුවන්වැලි මහා සෑයේ මුද්ධවේදිය භාතිකාභය රජු විසින් දැවයෙන් කරවන ලදුව මේ කාලයේ දී දිරාපත්ව තිබුයෙන් නැවතත් ආමණ්ඩගාමිණී අභය රජු විසින් කරවන ලද බවට සැලකිය හැකි ය. තවද ලෝවාමහාපායේ හා ථූපාරාම උපෝෂථාගාරයේ ඇතුළු මිදුල් හා ඇතුළු ආලින්දයක් ද කරවූ බව කියවේ.
වංසකථාවල දැක්වෙන පරිදි රප්තලෙණ නම් විහාරය ලද්දේ මේ රජු විසිනි. දුටුගැමුණු මහරජතුමාගේ රුවන්මැලි සෑයේ කටයුතු වලට රිදී පහළ වූයේ රජතලෙණෙහි බව විශ්වාස කෙරේ. එය පිහිටා තිබුණේ අම්බට්ඨකොළ දනව්වෙහි ය. එය නම් වෑඋඩවිල්ලි හත්පත්තුවේ පිහිටි වර්තමාන රිදී විහාරය වේ. මෙහි ආමණ්ඩගාමිණී අභය රජු තම පරපුර” සඳහන් කරමින් විහාරයට ගම් දෙකක් පූජා කරන ලද බව දැක්වෙන සෙල්ලිපියෙන් වංසකථා පුවත අර්ථවත් වෙයි. එසේ ම එහි පියගැටපෙළක් ද ඔහු විසින් කරවන ලද බව තවත් ලිපියකින් පැවසේ.
රිදී විහාර පූජාව කරන ලද්දේ ඔහු රජවීමට ප්‍රථම බව පෙනේ. එහි දී ඔහුගේ නම සමග රජ වචනය යොදා නැත්තේ එහෙයිනි. දක්ඛිණ දේශයේ පාලකයා වශයෙන් සිටි අවධියේ එම කටයුතු කරන්නට ඇති බවට කල්පනා කළ හැකිය. මීට අමතරව වයඹ පළාතේ තැනකින් ලැබුණු තවත් ලිපියකින් මේ රජු අඛ විහරට (අභය විහාරයට) කෙතක් පිදූ බව ද සටහන් කර ඇත.
කූටකණ්ණතිස්ස රජුගේ වාරිකර්මාන්තවලින් පසු වැවක් කරවීමක් සම්බන්ධ සටහනක් ලැබෙන්නේ මේ රජුගේ කාලයේ දී ය. ඔහු මහාගාමෙණ්ඩවාපි නම් වැවක් දක්ඛිණ පස්සයෙහි කරවූ බව වංසකථාවේ දැක්වෙයි. මෙය පූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි හා බටුවන්තුඩාව පඬිතුමාගේ මහාවංස පරිවර්තනයේ දක්වා ඇත්තේ මාගම දකුණු දිග්හි වැවක් කරවා දකුණු විහාරයට පිදීය යනුවෙනි. මෙය මඳක් නිවැරදි කර ගත යුතු වෙයි. වැව පිදුම් ලැබූ දක්ඛිණ විහාරය වලගම්බා මහරජුගේ කාලයේ ගොඩනඟන ලදුව, දැනට එළාර සොහොණ වශයෙන් වැරදි ලෙස සාමාන්‍ය ජනතාව විසින් හඳුන්වන ලද අනුරාධපුරයෙහි පිහිටි දක්ඛිණ විහාරයයි. මාගම පිහිටි වැවක් අනුරාධපුරයෙහි ඇති විහාරයකට පූජා කිරීමට බාධාවක් නැතත් මහාවංසටීකාව ද අනුව පැහැදිලි වන්නේ මේ වැව දක්ඛිණපස්සයෙහි පිහිටි බවකි. එය දක්ඛිණ දේශය විය. එනිසා වැව මාගමට ගෙන යාම සුදුසු නොවේ. එහෙත් මේ වැව තවම හඳුනාගෙන නැත.
ආමණ්ඩගාමිණී අභය රජු දිවයින මුළුල්ලෙහි ම බලපාන අන්දමට මාඝාතය වලංගු කළේය. හෙවත් සතුන් මැරීම තහනම් කළේය. මෙය ධර්මාශෝක රජු අනුගමනය කරන්නට යාමකැයි සමහරු අර්ථකථන දක්වති. බුදු දහමින් පෝෂණය වූ දැහැමි සමාජයක සත්ත්ව ඝාතනය තහනම් කිරීම පංච සීලය ජන ජීවිතයට සම්බන්ධ කිරීමක් විය හැකි ය.
අට්ඨකථාදියෙහි දැක්වෙන තොරතුරු අනුව, ජලාශවල මසුන් මරන්නන්, දඩයම් කරන්නන් ආදි සත්ත්ව හිංසාවේ යෙදුණු පුද්ගලයන් ගැන නොයෙක් සිද්ධිවලින් පැහැදිලි වෙයි. පංචසීලයෙහි පළමුවන ශික්‍ෂාපදය රාජ්‍ය නීතියක් බවට පරිවර්තනය කිරීම, දේවානම්පියතිස්ස රජුගේ යුගයේ සිට ජන ජීවිතයට කාවැදී තිබුණු ගුණධර්මයක් නීතිගත වීමකි. මහජනතාව මෙන් ම සතුන් ද බියෙන් තොරව ප්‍රීතියෙන් වෙසෙනු දැකීමට මේ දැහැමි රජු කැමතිවන්නට ඇත. පළතුරු හා පළවැල ආදියට ජනතාවගේ අවධානය යොමු කරවීමෙන් ඔවුන්ගේ මනා සෞඛ්‍ය සංරක්‍ෂණය හා අවිහිංසාවට මඟ පෑදීම ගැන ද රජු සිතන්නට ඇත.
ආමණ්ඩගාමිණී කුමාරයා රජකමට පත්වීමේ දී මෙතෙක් පැවති රජකම හිමිවීමේ ක්‍රමයේ කිසියම් වෙනසක් සිදු වී ද යන්න ගැන කල්පනා කිරීමට හේතු පෙනේ. මන්ද? මේ රජුගේ පියරජුට පෙර රජකළ භාතිකාභය රජගේ පුත්‍රයකු මේ යුගයේ දි සිටි බව පෙනෙන හෙයිනි. අප මුලින් වතාවක සඳහන් කරන ලද පරිදි මේ යුගයේ රජකම ලැබුණේ සහෝදරයාගෙන් සහෝදරයාට ය. සහෝදර පිරිස අවසන් වූ පසු වැඩිමහල් සහෝදරයාගේ පුත්‍රයාට රජකම හිමි විය. මෙය සාමාන්‍ය පිළිගත් පිළිවෙත විය. මේ අනුව මහාදාඨික මහානාග රජුගෙන් පසු රාජ්‍ය හිමිවිය යුත්තේ භාතිකාභය රජුගේ පුත්‍රයාට ය. වංසකථාව එබඳු පුත්‍රයකු ගැන නිහඬ වෙතත් ශිලාලේඛන අප අදි කරවයි.
සඳගිරි දාගැබ අසල තිබී හමු වූ සෙල්ලිපියක දෙවනපියතිස මහරජුගේ මුණුබුරු වු රජ ගමිණි අභයගේ පුත්‍ර රොහිණිකගමිණි අබය, කරවන ලද විහාරයකට කරන ලද පූජාවක තොරතුරු සටහන් වේ. මෙහි සඳහන් වන පළමුවන රජු මකලන්තිස් හෙවත් කූටකණ්ණතිස්ස රජු හැටියටත්, දෙවනුව කී රජු භාතිකාභය රජු හැටියටත් මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා විසින් හඳුනාගන්නා ලදී. මේ අනුව රොහිණිකගමිණි අබය, භාතිකාභය රජුගේ පුත්‍රයා වෙයි. ඔහු රොහිණික යනුවෙන් විශේෂණ කිරීමෙන් පෙනී යන්නේ රෝහණයේ ස්වාධීන පාලකයකු ලෙස කටයුතු කර ඇති බවකි. ඉහතින් අප දුටු රාජ්‍ය සම්ප්‍රදාය අනුව මහාදාඨික මහානාගගෙන් පසු රජකමට පත්විය යුතු වූයේ රොහිණි ගමිණි අබය කුමාරයා ය. එහෙත් සිහසුන භාරගත්තේ මහාදාඨිකමහානාග රජුගේ පුත්‍රයා වූ ආමණ්ඩගාමිණි අභය කුමාරයා ය. මේ දෙදෙනා ලිපියේ හැටියට සමකාලීන ය. මේ වෙනස නිසා සිදු වූ ගැටුමක් ගැන ද කිසිදු ලේඛනයක සඳහන් නොවේ. සමහර විට ආමණ්ඩගාමිණි රජුගේ කැමැත්ත ද මත මේ කුමාරයා රෝහණ පාලකයා වශයෙන් කටයුතු කළා ද විය හැකි ය. භාතිකාභය හා මහාදාඨික යන සහෝදරයන් දෙදෙනා ආදර්ශවත් සහෝදරත්වයකින් බැඳී සිටියා සේ ඒ දෙදෙනාගේ මෙම පුත්‍රයන් දෙදෙනා ද සමගියෙන් මෙන්ම සහෝදරකමින් ද හොඳින් බැඳී පැවතුනා යැ යි ද දැක්විය හැකි ය. සමහර විට රොහිණික අභය, රජය නොපැතුවා ද නැතහොත් ඔහු භාතිකාභය රජුගේ අන්‍යතර දේවියකගේ පුත්‍රයකු වී ද? යනුත් ගැටළු වෙයි. කෙසේ නමුත් ඔහු රෝහණයේ ස්වාධීන පාලකයකු සේ ක්‍රියා කළ බවක් පැහැදිල වෙයි. ආමණ්ඩගාමිණි අභය රජු රෝහණ දේශයේ කරන ලද කිසියම් කාර්‍ය්‍යයක් ගැන මෙතෙක් හමු වී ඇති කිසිදු ලේඛනයක සඳහන් ඒ අදහස තහවුරු කිරීමට හේතු වේ. මේ රජුගේ රාජ්‍ය කාලය වර්ෂ නවයක් හා මාස අටකට සීමා විය. සියලු සතුන්ට අභයදානය දුන් ඔහුට සිදු වූයේ සිය සහෝදරයා අතින් මරණයට පත් වීමට ය.
මකලන්තිස්ස රජුගෙන් ඇරඹී ආමණ්ඩගාමිණි අභය රජුගෙන් අවසන් වූ වර්ෂ හැත්තෑ එකක කාලය ලංකා ඉතිහාසය තුළ දක්නට ලැබෙන සුවිශේෂ කාලපරිච්ඡේදයකි. මේ යුගය තුළ විදේශීය සතුරු ආක්‍රමණ නො වී ය. දිවයින තුළ ද අවුල් වියවුල් තත්ත්වයක් නොතිබිණි. රාජ්‍ය ලෝභයෙන් ඔවුනොවුන් මරා ගත්තා වූ ද එනිසා ම මහජනතාවට නිවි සැනසිල්ලේ වාසය කිරීමට ඉඩ නුදුන්නා වූ ද රාජකුමාරවරු ද මේ කාලය තුළ බිහි නොවූහ. රජවරුනුත් රටවැසියනුත් එක්ව පිංදහම් කරමින් සාමයෙන් ජීවත් වූ මෙවන් කාලයක් මේ රටේ ඉතිහාසය තුළ දක්නට නොලැබේ.
පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි