බුද්ධදාස රජතුමාට පුත්‍රයන් අසූ දෙනෙකු සිටි බව මහාවංසය සඳහන් කරයි. එහෙත් මේ අය අභිෂේක බිසවගේ දරුවන් විය නොහැකි ය. එනිසා ඒ සියලු දෙනා ම රාජ්‍යයේ උරුමකරුවෝ වූ හ යි සිතිය හැකි නොවේ. මේ පිළිබඳ දැක්වෙන විස්තරයේ බුදුරදුන්ට අසූ මහා සව්වන් වහන්සේලා සේ ඒ නම්වලින් ම හැඳින්වූ සූර - වීර මනා රූ ඇති පුතුන් අසූ දෙනෙකු පිරිවැරූයේ මේ රජ බුදරදුන් මෙන් බැබළි යැ යි වර්ණනා කර ඇත. මේ පුතුන් අතුරින් වැඩිමහළු පුත්‍රයා වූයේ උපතිස්ස කුමරු ය. බුද්ධදාස රජුගේ අභාවයෙන් පසු උපතිස්ස කුමරු රජකමට පත්විය. ඒ මේ නමින් පෙනී සිටි දෙවැන්නාසේ ගෙන සමහර නූතන ඉතිහාස ලේඛකයන් විසින් දෙවන උපතිස්ස නමින් ඔහු හඳුන්වනු ලැබේ. මෙය සාවද්‍ය ය. මන්ද? මීට පෙර මේ නමින් රජ කෙනෙකු නොසිටි හෙයිනි. විජය රජුගෙන් පසු පඬුවස්දෙව් කුමරු එනතුරු උපතිස්ස නම් ඇමතියා අරාජක කාලය ආවරණය කළේ ය. මෙය වරදවා ගැනීමෙන් ඔහු පළමුවන උපතිස්ස රජු යැ යි ගෙන මෙතුමා දෙවන උපතිස්ස රජු වශයෙන් සලකා ඇත.
මේ රජු සියලු රාජගුණයෙන් යුක්ත මහාකාරුණිකයෙක් විය. දශරාජධර්මයෙන් රාජ්‍යය කළේ ය. සිව් සඟරාවතින් මහජනයාට සංග්‍රහ කළේ ය. කොරුන්, ගර්භණීන්, අනාථයන්, රෝගීන් ආදීන්ට මහත් සත්කාර කරවී ය. මේ රජු කෙතරම් කාරුණික වී ද කියතොත් තමා නිඳන ඇඳ රාත්‍රියේදී වැස්සෙන් තෙමෙද්දී වැසියාට කරදර වෙතැ යි සලකා පහන්වන තුරු කිසිවෙකුට නොදන්වා සිටියේ ය. මහාසෑයට නගින කලු කුහුඹුවන් මොනර පිළින් පිස ඉවත් කළේ ය. වෙනම ගෙයක් තනවා සිල්ගත් දිනවල එහි විසී ය. මෙතුමාට දිනපතා ආහාරය ගෙනාවේ මහාපාලී බත් හලෙනි. සිරිසඟබෝ රජු මෙන් සොරුන් අල්ලා ගෙනා පසු ධනය දී ඔවුන් යවා මිනී ගෙන්වා ඔවුනට දඬුවම් කළ බව පෙන්වී ය.
උපතිස්ස රජු පිළිබඳව මහාවංසය දක්වන මේ අන්දමේ දීර්ඝ විස්තරය අතිශයෝක්තියක් නොව දැහැමි පාලනයක් තුළ මහජනතාවත්, පාලකයාත් පවත්නා ආකාරය පිළිබඳ අර්ථකථනයකි. රජකු මෘදු විය යුතු අවස්ථාවක දී අනිවාර්යයෙන් මෘදු විය යුතු ය. දැඩි විය යුතු අවස්ථාවල දී අනිවාර්යයෙන් ම ඍජුව යුතු ය.
ස්ථාවර විය රාජධර්මයේ දී මෙය විය යුත්තේ ම ය. අහිංසාවාදී ප්‍රතිපත්තියක පිහිටියේ වුව ද අධිකරණය දුර්වල නොවිය යුතු ය. උපතිස්ස රජු උපක්‍රමශීලීව මේ න්‍යාය අනුගමනය කළ බව පෙනේ. ගුණවත්කම යනු නීති විරෝධී කටයුතුවලට ඉඩ තැබීම නොවේ. මෙසේ වුව ද ස්වභාවධර්මයාගේ බලපෑම උපතිස්ස රජුට ද ඉක්ම විය නොහැකි විය.
මහාවංසයේ දැක්වෙන අන්දමට මේ ධාර්මික රජතුමාගේ කාලයේ දී රෝග භයක් හා දුර්භික්‍ෂ භයක් ඇති වී ගංගාරෝහණ පූජාව වැනි පූජාවන් කිරීමෙන් එය මඟහරවා ගත් ආකාරය විස්තර වෙයි. සර්‍වඥධාතු නිධාන කර ඝන රන් බුද්ධ ප්‍රතිමාවක් නිමවා බුදුරදුන්ගේ ශෛලමය පාත්‍රා ධාතුවෙහි දිය පුරවා ප්‍රතිමාවෙහි අත්හි තබා රන් බුදුරුව රථයක තබා භික්‍ෂූන් පිරිවරා රජ මහමගට බැස්සේ ය. තමා ද සීල සමාදානයෙහි පිහිටා රට වැසියා ද එහි යෙදවී ය. නුවර සරසා සතුන්ට අභය සැලසී ය. භික්‍ෂූන් වහන්සේ රතන සූත්‍රය දේශනා කළහ. මග දෙපස මෙන් ම නුවර පවුරු හාත්පස පිරිත් පැන් ඉස්සේ ය. අරුණු නැගෙත් ම මහ වැස්සක් වැස ගිම් නිවා උවදුරු දුරු විය. මින් ඉදිරියට ද මෙබඳු උවදුරක් හටගතහොත් මෙලෙස ම කරත්වා යි නියම කළේය. මේ පුවත් නිසි අන්දමින් වංසකථාවල වාර්තා කර තබන ලද්දේ මතු පහළවන පාලකයන්ට ආදර්ශයක් හා මග පෙන්වීමක් වශයෙන් බව පැහැදිලි ය.
සාමාන්‍ය වශයෙන් මේ රටේ දුර්භික්‍ෂ හා රෝග භය ඇති වී ඇත්තේ නිසි පරිදි වර්ෂාව නොලබන කාලවලදී බව මූලාශ්‍රයවලින් පැහැදිලි වෙයි. මහසෙන් රජු වැනි ශ්‍රේෂ්ඨ රජ දරුවන් විසින් කරවන ලද වාරි තාක්‍ෂණයෙන් රට ස්වයංපෝෂිත වූවා සේ ම ඇතැම් විට ඒ සඳහා කරන ලද මහා පරිමාණයේ කැළෑ එළිකිරීම් ආදියෙන් කලක් යනතුරු ඇතැම් අහිතකර බලපෑම් ද ස්වභාව ධර්මයෙන් එල්ලවන්නට බැරි නොවේ. වාරි පද්ධතියේ සිසිලසින් මේ තත්ත්වය කලකින් මඟහැරී යන්නට ඇති බව ද කල්පනාවට ලක් කළ යුතු කරුණකි. උපතිස්ස රජුගේ කාලයේ ඇති වූ දුර්භික්‍ෂය ද මෙබන්දක් හැටියට සැලකීම සාධාරණ යැ යි හැඟේ. බුද්ධිමත් ලෙස රජ එය මග හරවා ගත්තේ ය.
මූලාශ්‍රයවල විස්තර කිරීමේ දී රජවරුන්ගේ ආගමික කටයුතු හා යුද්ධ කටයුතු ගැන වඩා සැලකිලි දක්වා ඇතත් ඒවායින් වෙනත් බොහෝ තොරතුරු ද අනාවරණය කර ගත හැකි ය. මේ රජතුමා ස්තූපයක්, ප්‍රතිමා ගෘහයක් හා පිළිමයක් කරවීමේ දී කදිම උපක්‍රමයක් කළේ ය. එනම් හකුරු හා සහල් මිශ්‍ර රසකැවිලි ළමයිනට දීමෙන් ඔවුන් ලවා එම වැඩ කරවීම යි. මෙය දරුවන් යහමග යැවීමට කළ උපක්‍රමයක් විය හැකි ය. අනෙක් අතට රජු රටේ සංවර්ධනය ගැන අවධානය යොමු කළ බව ද පැහැදිලි වෙයි. ඔහු වැව් හයක් කර වී ය. මෙයින් වැව් තුනක් ප්‍රතිසංස්කරණය කර විශාල කිරීමක් බව පෙනේ. රාජුප්පල, වලාහස්ස හා අම්බුට්ඨි යනු ඒ වැව් වේ. මේ වැව් හා ගිජ්ඣකූට, පොබ්බරපාස හා ගොණ්ඩිගාම යන එතුමා විසින් කරවන ලද අනෙක් වැව් ද හඳුනාගෙන නැත. සිංහල මූලාශ්‍රයවල එන හැටියට පොළොන්නරුවේ තෝපාවැව කරවන ලද්දේ මේ රජු විසිනි. ඉහතින් සඳහන් කළ පොක්ඛරපාස යනු තෝපාවැව යැ යි සමහරු සලකති.
උපතිස්ස රජුගේ යුගයට අයත් දැනට හමු වී ඇති සෙල්ලිපි තුනකි. එයින් කන්දකාඩු සෙල්ලිපියෙහි ඔහු දෙනුපෙ ඔපතිස්ස යනුවෙන් සඳහන් කර තිබේ. දෙනුපෙ යනු දේවානම්පිය හෝ දෙවානුප්පිය යන්නට සමාන ය. එහෙත් මෞර්යය වංශික රජවරුන් භාවිත කරන ලද මේ විරුදය මේ වන විට අභාවයට ගොස් බොහෝ කලක් ගත වී ඇත. මේ රජු එය නැවත භාවිත කරන ලදැ යි සැලකුව ද ඉන්පසු කිසිදු රජෙකු එය තම නමට යොදාගෙන නැති බව පෙනී යයි. ලිපියේ දැක්වෙන අන්දමට මේ රජු චිත්තනගරයෙහි විහාරයක් කරවා එහි නඩත්තුවට ඉඩකඩම් පූජා කරන ලද බව පෙනේ. මෙය මහාවංසයේ සඳහන් නොවන පුවතකි. රුහුණේ පැරණි කාලායන කර්ණිකා ප්‍රදේශයෙහි පිහිටි පානම අසල ඇති වැව ඉවුරේ ගලක කොටා ඇති කෙටි ලිපියක මේ රජු තම සීයාගේ නමින් පෙනී සිටිමින් සූවිසි වන රාජ්‍ය වර්ෂයෙහි දී බයුතරි නම් වැවක් සංඝයාට පිදූ බව දක්වෙයි. ලිපියෙහි උපතිස්ස රජු ජෙටතිස රජ වශයෙන් පෙනී සිටී. මේ රජුට මුලින් පෙනී සිටි දෙටුතිස් රජවරු මෙපමණ දීර්ඝ කාලයක් රජකම් කර නැති බැවින් මේ ලිපියෙන් දැක්වෙන ජෙටතිස රජු උපතිස්ස රජු හැටියට හඳුනා ගනී.
බසවක්කුලම ලිපිය රජුගේ විසි අටවන රාජ්‍ය වර්ෂයෙහි පිහිටුවන ලද්දකි. රාජ්‍ය වර්ෂ ස්ථිරව සඳහන් කළ හැකි පැරණි ම ලිපිය මෙය වේ. එහි දිනය රා. ව. 396 - 12 - 6 කුජ දිනයට වැටෙයි. රජෙකු කොතරම් දැහැමින් රට පාලනය කළ ද රාජ්‍ය අපේක්‍ෂා කරන්නෙකු රජ පවුලේ සිටී නම් රජුගේ ජීවිතය නිතරම අනතුරුදායක වේ. රජුගේ දේවිය ම අන් අතක සිත යොමුකර සිටිත් නම් එය වඩාත් අයහපත් වෙයි. මේ අවස්ථාවට උපතිස්ස රජුට ද මුහුණ දීමට සිදු විය. තමාගේ කණිටු සහෝදරයකු සමග රහසින් මිත්‍රව සිටි දේවිය ආයුධයකින් ගසා අස්ථානයේ රජු මරණයට පත් කළා ය. ඇය එසේ කළේ මිත්‍රව සිටි කුමරුට රජකම ලබා දෙන අදහසින් බව පෙනේ. එහෙත් කුමාරයාගේ සම්බන්ධයක් ඝාතනය සඳහා තිබූ බවක් නොපෙනේ. අකල් මරණයට ගොදුරු වූ උපතිස්ස රජුගේ රාජ්‍ය කාලය දෙසාළිස් වසක් තරම් දීර්ඝ විය.
පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි