55
අභයනාග රජතුමා
අනුරාධපුර රාජධානිය
ක්‍රිව 236 - ක්‍රිව 244

අභයනාග රජතුමාගේ මූලාශ්‍ර සහිත පරම්පරා සටහන සමග අපේ රාජ වංශයේ සියලුම රජවරුන්ගේ ක්‍රමානුකූලව නිර්මාණය කළ පරම්පරා සටහන් අධ්‍යයනය කිරීම සඳහා වර්ණවත් පිටු 650කින් සමන්විත
"මහාවංස ප්‍රදීපිකාව"
ග්‍රන්ථය ඔබත් අදම ලබාගන්න.
📞 දුරකථන:
0701 400 300
💬 WhatsApp:
0711 400 300
වැඩිදුර විස්තර සඳහා
රාජ්‍ය නාමය : අභයනාග රජතුමා
රාජවංශය : පළමුවන ලම්බකර්ණ
රාජධානිය : අනුරාධපුර රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිව 236 - ක්‍රිව 244
වොහාරතිස්ස රජුට අභයනාග නමින් සහෝදරයෙක් සිටියේ ය. හෙතෙම රජුගේ බිසොව සමග රහසින් මිත්‍ර විය. එය ප්‍රකට වූ බැවින් බියපත් වූ අභයනාග කුමරු සිය සේවකයන් ද සමග භල්ලතිත්‍ථයට පලා ගියේ ය. භල්ලතිත්ථ යනු මේ දිවයිනෙහි පිහිටි වරායක් විය යුතු ය. මේ ස්ථානය තවමත් හඳුනාගන නැත. අප්‍රකට තීර්ථයක් විය යුතු ය. මෙහි සැඟවී සිටි හෙතෙම තම අභිමථාර්ථයන් ඉටුකර ගනු සඳහා වෝහාරතිස්ස රජු රට වැසියන් කෙරෙහි බිඳවීමට කූට උපක්‍රමයක් කළේ ය. අභයනාග කුමරු ඔහුගේ මාමා වූ සුභදේව නමැත්තා කෙරෙහි කෝප වූ බවක් දක්වා අත් පා කප්පා රජු වෙතට යැවී ය. මේ අන්දමට සුභදේව අභයනාග කුමරුගේ අදහස් ඉටුකිරිමට ඉවහල් වන පරිදි තම අත්පා කපා දැමීමට තරම් සාහසික එකඟතාවකට පැමිණියේ ඇයි ද? යනු ගැටළුවකි. සමහර විට ඔහු වෝහාරතිස්ස රජු ගැන අමනාපයකින් පසු වූවෙකැයි ද සිතිය හැකි ය. ඒ නිසා ඔහුගෙන් පළිගැනීමට අවස්ථාවක් උදාකරගත්තා වන්නට ද පුළුවන. කෙසේ වුවත් ඔහු අභයනාග කුමරුගේ සතුරකු හැටියටත්, ඔහු විසින් විපතෙහි හෙලන ලද්දකු හැටියටත් වෝහාරතිස්ස රජු ඉදිරියේ පෙනී සිට රජුගේ හිත් දිනාගත්තේ ය.
අභයනාග කුමරු පක්‍ෂපාතී අයගෙන් තමා බලාපොරොත්තුවන යටහත් පහත් බව නිදසුනකින් පෙන්වීය. එය සුනඛොපමාව ලෙස මහාවංසය කියයි. මෙය මහාවංසටීකාව ද කදිමට විස්තර කරයි. ඔහු තමා ඇතිකළ සුනඛයෙකුට ඊයෙන් විද ඌට හඬ ගෑ කල වේදනාවෙන් පීඩිත වුව ද වලිගය වනමින් තමා වෙත එන සැටි පෙන්වා යම් අයකු මා වෙත මේ අන්දමේ ළෙන්ගතුකමක් ඇත්නම් ඔවුහු මා සමඟ එත්වා යි කියා නැව් නැග පරතෙර ගියේ යැ යි එහි දැක් වේ. මේ අතර සුභදේව තෙමේ රජුගේ යහපත පිණිස තමා කටයුතු කරන බව පෙන්වමින් නොදැහැමි අයබදු ගැනීම් ආදියෙන් රටවැසියා රජු කෙරේ බිඳවී ය. මේ සඳහා රජුගේ ද්‍රෝහී බිසොව ද සුභදෙවට රහසින් සහාය දෙන්නට ඇත. කලක් ගතවිය. දිවයිනේ තත්ත්වය දැනගනු පිණිස අභයනාග කුමරු චරපුරුෂයෙකු එවී ය. ඔහු සුභදෙව හමු විය. එහෙත් ඔවුන්ට අදහස් වචනයෙන් හුවමාරු කරගත නොහැකි විය. සාකච්ඡා කළේ නම් රජුට දැනෙන බැවිනි. ඔහු කළේ කුන්තායුධයක් ගෙන පුවක් ගසක මුල සාරා මුල් දුබල කොට උරින් පැහැර එය පෙරළා චරපුරුෂයාට තත්ත්වය අඟවා ඔහුට තර්ජනය කොට පළවා හැරීම ය. තර්ජනයක ස්වරූපයෙන් තම අදහස් අභයනාග කුමරුට දන්වනු පිණිස චරපුරුෂයාට මේ අන්දමට සුභදේව ප්‍රකාශ කළේ ය.
චරපුරුෂයා කාරණය හොඳින් තේරුම් ගත්තේ ය. පරතෙර ගිය ඔහු සියලු තොරතුරු අභයනාග කුමරුට හෙළි කළේ ය. හෙතෙම විශාල සේනාවක් ගෙන මෙරටට ගොඩබැස්සේ ය. මේ සේනාව දෙමළ (දමිළ) බව මහාවංසය දක්වයි. එසේ නම් මතු මේ රටේ රජකම බලාපොරොත්තුවන්නන්ට බලවත් වූ නරක ආදර්ශයක් අභයනාග කුමරු විසින් පළමුවරට ලබාදෙන ලදැ යි සැලකිය හැකි ය. දකුණු ඉන්දියාවෙන් ඔහු ගෙනා සේනාව කවරේදැ යි මේ වචනයෙන් එතරම් පැහැදිලි නොවේ. කෙසේ වෙතත් අභයනාග කුමරු සේනාව සමඟ නුවර සමීපයට පැමිණියේ ය. එහෙත් වෝහාරතිස්ස රජු යුද පිණිස කටයුතු නොකළේ ය. හෙතෙම තමාගේ විනාශයට මගපාදන ලද බිසොව ද රැගෙන මලය රටට පලා ගියේ ය. ඔහු ලුහුබැඳ ගිය අභයනාග කුමරු මලය රටෙහි දී රජු මරා දේවිය ද රැගෙන අනුරාධපුරයට පැමිණියේ සිහසුනට පත්වූයේ ය.
මුලින් අප දුටු පරිදි මේ අන්දමින් කූට ප්‍රයෝගයක් කරමින් රජකම ලබාගත් අභයනාග රජු වෝහාරතිස්ස රජුට දුෂ්ටකම් කළ ඔහුගේ බිසොව තමාගේ ද බිසොව කරගත්තේ ය.
අභයනාග රජුගේ කටයුතු පිළිබඳව වැඩි විස්තර වංසකථාවල දක්වා නැත. ඔහුගේ යුගයට අයත් සෙල්ලිපි ආදියක් ද මේ තාක් හමු වී නැත. පූජාවලිය මොහු අබාසෙන් ලෙස ද රාජරත්නාකරය හා නිකාය සංග්‍රහය අබාතිස් වශයෙන් ද නම් කර තිබේ. දීපවංසය අභය හැටියට ගනී. ප්‍රමුඛ වංසකථා දෙක ම දක්වන අන්දමට මොහුගේ විශේෂ කටයුත්තක් වූයේ දෙලක්‍ෂයක් වටිනා නොයෙක් වස්තු ගෙන්වා භික්‍ෂූන්ට පූජා කිරීම ය. මීට අමතරව මහාබෝධිය වටා ගල්පිල්කඩක් සෑදවීය. ලෝවාමහාපායේ අංගණයෙහි මණ්ඩපයක් කරවීම අන්‍ය පුණ්‍යකර්මයක් විය. රාජ්‍ය ලෝභයෙන් මඩනා ලදුව, හිංසාව නීතියෙන් ම තහනම් කළ ස්වකීය සහෝදරයාගේ ජීවිතය විනාශ කළ, අභයනාග රජු අටවසක් රජ කළ බව දීපවංස, මහාවංස, පූජාවල ආදී ග්‍රන්ථවල දැක්වේ.
පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි