තම්මැන්නා නුවර
උපතිස්ස නුවර රාජධානිය
අනුරාධපුර රාජධානිය
චෝළ පාලනය
රුහුණු රාජධානිය
පොළොන්නරුව රාජධානිය
දඹදෙනිය රාජධානිය
යාපහුව රාජධානිය
කුරුණෑගල රාජධානිය
ගම්පොල රාජධානිය
කොට්ටේ රාජධානිය
සීතාවක රාජධානිය
මහනුවර රාජධානිය
පෘතුග්‍රීසි පාලනය
ලන්දේසි පාලනය
ඉංග්‍රීසි පාලනය
සිලෝන් අධිපතීන්
138
1 වන ජයබාහු රජතුමා
පොළොන්නරුව රාජධානිය
ක්‍රිව 1110 - ක්‍රිව 1111
1 වන ජයබාහු රජතුමාගේ මූලාශ්‍ර සහිත පරම්පරා සටහන සමග අපේ රාජ වංශයේ සියලුම රජවරුන්ගේ ක්‍රමානුකූලව නිර්මාණය කළ පරම්පරා සටහන් අධ්‍යයනය කිරීම සඳහා වර්ණවත් පිටු 650කින් සමන්විත "මහාවංස ප්‍රදීපිකාව" ග්‍රන්ථය ඔබත් අදම ලබාගන්න.

📞 දුරකථන: 0701 400 300
💬 WhatsApp: 0711 400 300

වැඩිදුර විස්තර සඳහා
King Jayabahu I රාජ්‍ය නාමය : 1 වන ජයබාහු රජතුමා
රාජවංශය : හතරවන ලම්බකර්ණ
රාජධානිය : පොළොන්නරුව රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිව 1110 - ක්‍රිව 1111

දිවයින එක්සත් කළ විජයබාහු රජගේ අභාවයත් සමග රටේ අභ්‍යන්තර අවුල් වියවුල් ඇතිවන්නට විය. මෙය රාජකුමාරවරුන් අතර ඇති වූ බල අරගලයක් නිසා හටගත් බව පැහැදිලිය. විජයබාහු රජුගෙන් පසු රජකමට පත්කරන ලද්දේ එතුමාගේ සහෝදරයා වූ ජයබාහු කුමාරයාය. ඔහු ඒ නමින් පෙනීසිටි පළමුවන රජු වේ. මේ පත්කිරීම සඳහා රජුගේ සහෝදරිය වූ මිත්තාද ඇගේ පුත්‍රයන් තිදෙනා ද (මානාභරණ, කිත්ති සිරිමේඝ හා සිරිවල්ලභ) මහ ඇමැතිවරුන් හා අෂ්ට විහාරවාසී භික්ෂූන් වහන්සේද මැදිහත් වූහ. ජයබාහු කුමාරයා සිහසුනට පත්කිරීමෙන් පසු මානාභරණ කුමාරයාට උපරජ පදවිය දෙන ලදී. විජයබාහු රජතුමාගේ උපරාජව සිටි වීරබාහු කුමාරයා මියගිය පසු ජයබාහු කුමාරයා උපරජකමට පත්කරන ලද්දේය. විජයබාහු රජුට වෙනත් සහෝදරයන් නොසිටි බැවින් ජයබාහු රජුගෙන් පසු රාජ්‍ය උරුමය තිබුණේ වික්‍රමබාහු කුමාරයාටය. එහෙත් රජුගේ පුත්‍රයා වූ මේ වන විට රුහුණේ වාසය කළ වික්‍රමබාහු ආදිපාදයා ගැන නොසලකා හරින ලදී. සාමාන්‍ය සිරිත අනුව මෙය මෙතෙක් පැවැති පිළිවෙළට පටහැනි වූයේය. සමාජයේ ගෞරවයට පාත්‍රවී සිටි ආරඤ්ඤක භික්‍ෂූන් වහන්සේලා ද මේ කුමන්ත්‍රණයට මැදි වූ බව පෙනේ. එය මෙහෙය වූ රජුගේ සහෝදරිය වූ මිත්තා කුමරියගේ අරමුණ වූයේ ජයබාහු කුමාරයා රාජ්‍යයට පත් කළද උපරජ පදවියට පත් ස්වකීය පුත්‍ර මානාභරණ කුමරු ලවා රට පාලනය කරවීමය. එයට බාධාවිය හැකි විජයබාහු රජුගේ පුත්‍රයා වූ වික්‍රමබාහු විනාශකර දැමීමටද ඇයගේ අභිප්‍රාය වූ බව පෙනේ.
 
රජුගෙන් පසු ඔහුගේ සහෝදරයෙකු ජීවත්ව සිටීනම් ඔහුට රජකම ලබාදීමත්, සහෝදර පිරිස අවසන් වූ පසු පළමු සහෝදරයාගේ පුත්‍රයාට සිහසුන උරුම වීමත් මෙතෙක් පැවැති
සිරිත වූයේය. මේ අනුව ජයබාහු කුමරුට ඔටුනු පැළඳවීම වරදක් නොවුවද මිත්තාගේ පුත්‍රයෙකු වූ මානාභරණ කුමරුට උපරජකම දීම ක්‍රමවිරෝධී විය. එය හිමිවිය යුතුව තිබුණේ විජයබාහු රජුගේ පුත්‍රයා වූ විජයබාහු කුමරුටය. බලවත්ව නැගීසිටි අරගලයේ මූලබීජය මෙය වූ අතර එය උත්සන්න වීමට තවත් හේතුවක් වූයේය. එනම් මානාභරණ ආදී සහෝදරයෝ තිදෙනා ජයබාහු රජු කැටිව වික්‍රමබාහු කුමාරයා අල්ලා ගැනීමට රුහුණට පිවිසීමයිමහාචාර්ය සෙනරත් පරණවිතාන මේ ගැන මෙසේ විචාරණය කරයි. "මානාභරණ කුමාරයා විජයබාහු රජුගේ බෑනා කෙනෙකු මෙන්ම සිංහල රජ පෙළපතින් පැවතෙන්නෙකු බවත් වික්‍රමබාහු කුමාරයා කාලිංග පරපුරට අයත් කෙනෙකු බවත්, මානාභරණ කුමාරයාගේ පැත්තෙන් කියා සිටින්නට ඇත."
 
මානාභරණ කුමරයා විජයබාහු රජුගේ සහෝදරිය වූ මිත්තා කුමරියගේ පුත්‍රයෙකි. ඇයගේ සැමියා වූයේ පාණ්ඩ්‍ය වංශික කුමාරයෙකු බව අපි දනිමු. මේ අනුව පිය පර්ශ්වයෙන් පරපුර සලකන්නේ නම් මානාභරණ කුමාරයා සිංහල රජ පෙළපතට සම්බන්ධ නොවේ. වික්‍රමබාහු කුමාරයා විජයබාහු රජුගේ කාලිංග වංශික තිලෝකසුන්දරී බිසොව ගේ පුත්‍රයෙකි. මේ අනුව ඔහු පිය පාර්ශ්වයෙන් සිංහල රජ පෙළපතට සම්බන්ධ වෙයි. මේ අනුව රාජ්‍ය උරුමය පිළිබඳව වික්‍රමබාහු කුමාරයාට ප්‍රශ්නයක් මතුවිය නොහැකිය. එහෙත් මේ කාලයේ ඇතිව තිබූ සොලී බලපෑම් මත මාතෘ පක්ෂයෙන් රාජ්‍ය උරුමය කියාපෑමේ තත්ත්වයක් මතු වී තිබූ බවට සැලකිල්ල යොමු කළයුතු සාධකද ඇති බව අමතක කළ නොහැකිය. කෙසේ නමුත් අර්බුදය දික්ගැස්සී ගියේය.
 
මේ වන විට පියාගේ අවසන් කටයුතුවලට වත් සහභාගි වීමට අවස්ථාව නොලත් වික්‍රමබාහු ආදිපාදයා සිටියේ මහත් කනස්සල්ලෙනි. ඔහු පියාගේ සොහොනවත් දකිමියි සිතා ටික දෙනෙකු සමග පොළොන්නරුවට එනු පිණිස පිටත්ව ගුත්හල අසල කොස්බුක්ක නම් පෙදෙසෙට පැමිණියේය. තමා අල්ලනු සඳහා පැමිණි මානාභරණ කුමරු ඇතුළු පිරිස ඔහුට මෙහිදී මුණගැසුණි. දෙපිරිස අතර ඇති වූ සටනින් වික්‍රමබාහු කුමරු ජයග්‍රහණය කළේය. පැරදී පලාගිය මානාභරණ කුමරු නැවත නැවතත් සටන් පිණිස එළඹියෙන් ආදිපාදජම්බු (දඹගල්ල) කටගාම (කටගමුව) කාලවාපි (මෙය රුහුණෙහි වූ කලාවැවයි. එය තවම හඳුනාගෙන නැත.) උද්ධනද්වාර (ගලබැද්ද) පංකවෙල (මඬවෙල) නම් ස්ථාන වලදී දරුණු ගැටුම් සිදුවිය. සියළු සටන් වලින් ජයගත් වික්‍රමබාහු කුමාරයා පොළොන්නරුවට පිවිසියේය.
 
ජයබාහු රජුගේ රාජ්‍යකාලය වර්‍ෂ දහහතරක් වූ බව පූජාවලිය දක්වා තිබේ. බුදුමුත්තාවේ ඇති සෙල්ලිපියක ඔහුගේ අටවැනි රාජ්‍ය වර්‍ෂය සඳහන් කරයි. තවදුරටත් මහාචාර්ය සෙනරත් පරණවිතාන කියන පරිදි ජයබාහු රජුගේ තිස් අටවෙනි රාජ්‍ය වර්ෂයද සටහන් කරන ලද සෙල්ලිපි වාර්තා දක්නට පුළුවන. එහෙත් මේ රජු සිංහාසනය පුරා මෙතරම් කාලයක් සිටි බව විශ්වාස නොකරයි. ඔහු අභිෂේක ලබා සිටියද ඔහු නෙරපා දමා සිහසුනට පත්වන වික්‍රමබාහු රජු අභිෂේක නොලැබම රජරට පාලනය කළේය. ඔහු අභිෂේක නොලැබුවේ නීත්‍යානුකූල පාලකයා වූ ජයබාහු රජු ජීවත්ව සිටි නිසා ද විය හැකිය. සාමාන්‍ය සිරිත ලෙස ලිපියක් ලියූ කාලය දැක්වීමේදී අභිෂේකලත් රජෙකුගේ කාලයෙන් දැක්වීම පිළිවෙත වේ. අභිෂේක නොලත් රජෙකුගේ කාලයෙන් එය දැක්වීම පෙර සිරිතට පැටහැනි ලෙස දක්වා තිබේ.
 
මේ නිසා දෙවන වික්‍රමබාහු හා දෙවන ගජබාහු රජවරුන් තම ලිපි පිහිටුවීමේදී අභිෂේක ලත් රජ වූ ජයබාහු රජුගේ රාජ්‍ය වර්ෂයෙන් දැක්වූ බව පරණවිතාන මහතා දක්වයි. ඒ අනුව පළමුවන ජයබාහු රජුගේ කාලය ලේඛනවල දක්වා ඇති අන්දමට දීර්ඝ නොවේ යැයි සමහරු කියති. කතරගම සිට සිතුල්පව්වට දිවෙන මාර්ගය අසල ඇති කටහමුවැවට නුදුරු කුඹුරක තිබී හමු වූ පුවරු ලිපියක මානාබරණ දෙවයන් වහන්සේ කෙනෙකු ගැන සඳහන් වී තිබේ. එසේම එහි සඳහන් දීමනාව ජයබාහු දෙවයන් වහන්ස නම් රජකුගේ පන්තිස් වැනි වර්ෂයේ දී කරන ලද බව කියැවේ. මෙහි සඳහන් වන දෙදෙනා මුලින්ම දක්වන ලද ජයබාහු රජු හා මිත්තා කුමරියගේ වැඩිමහලු පුත්‍ර මානාභරණ කුමරු බවට හඳුනාගෙන ඇත. ජයබාහු රජුගේ රාජ්‍ය කාලය ගණනය කරන්නට ඇත්තේ ඔහු රෝහණයේ උපරජු ලෙස සිටි කාලයත් එක්කර ගැනීමෙන් විය යුතුය. මේ රජු විසින් කරවන ලද කිසිම ලෝක ශාසනික කාර්‍ය්‍යයක් ගැන ද වාර්තා වී නැත.
 
පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි 
 
මුල්පිටුව | රාජධානි | යටත්විජිත | රාජවංශ | රජවරු | මහාවංස ප්‍රදීපිකාව | අපි ගැන | අමතන්න
© www.mahawansaya.com සියලුම හිමිකම් ඇවිරිණි. 2009 / 2026 පිටපත් කිරීම හා අනවසරයෙන් භාවිතා කිරීම තහනම්