Mulgirigala Rajamaha Viharaya
Era : Anuradhapura
Built : King Kavan Tissa,

මෙහි ඇති ක්‍රි.පූ.3 වන සියවසට පමණ අයත් වෙතැයි සැලකෙන අක්ෂර වලින් ලියැවුණු ශිලා ලේඛනයක දුටුගැමුණු රජුගේ සොහොයුරු සද්ධාතිස්ස රජු ගැන සඳහන් වී ඇතැයි කියවෙන බැවින් මෙය ඒ කාලයේ සිටම පැවත එන පුද බිමක් ලෙස සැලකේ. වංශ කතාවලට අනුව  ක්‍රි.පූ.2 සියවසේ පමණ කාවන්තිස්ස රජු ඉදිකළ බව පැවසෙන හැට හතරක් විහාරාම අතරින් සමුද්‍රගිරි විහාරය ලෙස හැඳින්වෙන්නේ මෙය යයි විද්වතුන් සලකති.

දැනට දක්නට ලැබෙන මේ විහාරස්ථානය තුන්වන සියවසේ රජකළ ජෙට්ඨතිස්ස රජු විසින් ආරම්භ කල බව කියවෙන අතර   එය ධාතුසේන, වළගම්බා, කිර්ති ශ්‍රී රාජසිංහ ආදී රජවරුන්ගේ රාජ්‍ය කාලවලදීත් සංවර්ධනය හා ප්‍රතිසංස්කරණය කල බව පෙනෙන්නට ඇත.

මුල්ගිරිගල විහාර සංකීර්ණය පිහිටා ඇති කඳු ගැටය හෙල් මලු ගණනාවකින් හා ලෙන් 25 කින්  පමණ සමන්විත වෙයි.  ඉන් මලු පහක ඇති ලෙන් හතක්  විහාර මන්දිර බවට පත්කොට ඇත.  මේ විහාර සංකීර්ණයේ පහළින්ම ඇත්තේ සියඹලා මලුවයි. එහි මුල්ගිරිගල කෞතුකාගාරය, පන්සල හා විශ්‍රාම ශාලාව පිහිටා ඇත. මුල්ගිරිගල බොහෝදෙනාගේ අවධානයට යොමුව ඇත්තේ එහි දක්නට ලැබෙන මනරම් බිතුසිතුවම් නිසාවෙනි. ක්‍රි.ව. 1732 දී පමණ මෙහි පැමිණි ඉතිහාසඥයෙකු වන ජර්මන් ජාතික Wolfgang Hydt මහතා  විදේශික චිත්‍ර ශිල්පියෙකු ලවා සමහර සිතුවම් පිටපත් කරවාගෙන ඇත.

ඉංග්‍රීසි ජාතික චිත්‍ර ශිල්පියෙකු වූ William Daniell මහතා (1769 – 1837) විසින් මුල්ගිරිගල ආශ්‍රිතව අඳින ලද සිතුවමක් යටත්විජිත සමයේ ආණ්ඩුකාරයාගේ නිවසේ තබාගෙන සිට ඇත. පසුව ජනාධිපති නිවස භාරයේ  තිබු මේ සිතුවම අවතැන්විම පිළිබඳව විශාල ආන්දෝලනයක්ද ඇතිවිය. දැනට දක්නට ලැබෙන මුල්ගිරිගල සිතුවම් 18 වන සියවසෙන් පසුව අඳින ලද ඒවාය. පදුම රහත් විහාරයේ ඇති  තෙලපත්ත, වෙස්‌සන්තර යන ජාතක කතා 19 වන සියවසේ මැද භාගයේ පමණ සිතුවම් කරන්නට ඇතැයි විශ්වාසකෙරේ.

මුල්ගිරිගල සිතුවම් සම්ප්‍රදායන් කීපයකට නෑකම් කියන බව පෙනේ. දීප්තිමත් වර්ණයන්ගෙන් අඳින ලද සමහර සිතුවම් මහනුවර සම්ප්‍රදායට අයත්ය. මහනුවර දෙවරගම්පල සිල්වත් තැන හා කටුවන සිල්වත් තැන සමහර සිතුවම් නිමකොට ඇති බවට මතයක් වේ. මහනුවර යුගයේදී අඳින ලද සමහර  මුල්ගිරිගල සිතුවම් තුල  මහනුවර සම්ප්‍රදාය ඉක්මවාගිය සුවිශේෂී ලක්ෂණ දැකිය හැකිය. මිනිස් රූපවල ඉරියව් ඉතා තාත්විකව හා සෞන්දර්යාත්මක අගය ඉස්මතුවන ආකාරයෙන් නිරුපනය කොට ඇත. ඉන් පෙර යුගවල සිතුවම් අතර දක්නට නොලැබෙන ආකාරයේ තේමා සහිත සිතුවම් එලි දැක්වීමට මුල්ගිරිගල ශිල්පින් සමත්වී ඇත. එමෙන්ම  ඒවායේ වර්ණ රටා උඩරට සම්ප්‍රදායෙන් බැහැර වී රුහුණට විශේෂිතවූ වර්ණ රටාවකින් හැඩගැන්වී ඇත.   තෙලපත්ත ජාතකයේ  පෙරහර ජවනිකාව, වාදකයන්ගේ ගේ සිතුවම්, බෙරයක් වයන කාන්තාව   ආදී  චිත්‍ර ඊට උදාහරණ ලෙස දැක්විය හැක.  එමෙන්ම වල රුහුණට ආවේනික ආහාර වර්ගද, (කිරි පැණි, කෙසෙල්) නැටුම් ශිල්පීන්ගේ ඇඳුම් ආදියද එම සිතුවම් තුල දැකිය හැකිය.

 

Era : Anuradhapura,

Built : King Kavan Tissa,

 
Digital Identity of Sri Lankan History - www.mahawansaya.com
All rights reserved - 2019
Powered by isandi CREATIONS