සිතුල්පව්ව රජමහා විහාරය
Era : රුහුණ
Built : කාවන්තිස්ස රජතුමා,
Added : වසභ රජතුමා,
Added : කනිට්ඨතිස්ස රජතුමා,

සිතුල්පව්ව පිළිබඳව සාහිත්‍යමය  මෙන්ම ඓතිහාසික අභිලේඛන මුලාශ්‍රවල බොහෝ කරුණු සඳහන් වී ඇති බැවින් ක්‍රිස්තු පුර්වයේ සිටම  රුහුණේ පැවති ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථාන අතරින් සිතුල්පව්ව රජ මහා විහාරයට ඉතා වැදගත් තැනක් හිමිව තිබු බව පෙනේ.

සිත් අලවන පර්වතය යන අරුත ඇති  “චිත්තල පබ්බත” යනුවෙන් මහා වංශ ආදී පොත්වලද, “චිතල පවත” “චිතල පවම” යනුවෙන් ශිලා ලේඛන වලද මේ භුමිය හඳුන්වා ඇත.

මේ සිද්ධස්ථානය ආරම්භකොට ඇත්තේ කාවන්තිස්ස රජු විසිනි. එකල රජරට ද්‍රවිඩ පාලනයකට යටත්ව තිබු බැවින් රුහුණේ සිද්ධස්ථාන සංවර්ධනය කිරීමට රාජ්‍ය අනුග්‍රහය ලැබෙන්නට ඇත. එළාර රජ සමග යුද්ධයකට යාමට රුහුණේදී සේනා සංවිධානය කළ  දුටුගැමුණු රජ සිතුල්පව්ව විහාරයේ භික්ෂුන්ට දන් පිළිගන්වා මාගමින් පිටත්වූ බව සහස්‌සවත්ථූපකරණයේ සඳහන්වන බව කියවේ. දුටුගැමුණු රජු සමග යුද පෙරමුණට ගිය දශ මහා යෝධයින්ගෙන් ගෝඨයිම්බර, පුස්‌ස දේව, වේළුසුමන, නන්දිමිත්‍ර යන සිව් දෙනාම සිතුල්පව්වේ සංවර්ධනයට දායක වී ඇති බව සෙල් ලිපි වලින් තහවුරුවේ. ශ්‍රී මහා බෝධියේ දෙතිස්‌ඵල රුහ බෝධීන් වහන්සේ නමක්‌ මේ විහාරයේද  රෝපණය කර ඇතැයි සිංහල බෝධිවංශයේ සඳහන්වේ.

ශ්‍රී ලංකාවේ ඉතිහාසය හෙළිදරව් කෙරෙන ක්‍රිස්තු පුර්වයේ සිට හයවන සියවස  පමණ දක්වා වන විවිධ කාලවලට අයත්වන ශිලා ලිපි රාශියක් සිතුල්පව්වේ ඇත. දෙවනපෑතිස් හා කාවන්තිස්ස රජවරුන්ගේ මුනුබුරෙකු ලෙස සැලකෙන  ඉලනාග රජු විසින් කරවා ඇතැයි සැලකෙන පර්වත ලිපියක් ඉතා වැදගත් ලෙස සලකනු ලබන්නේ එහි සිතුල්පව්වට පවරාදුන් ඉඩ කඩම් සංඛ්‍යාව ඉපැරණි අංක ක්‍රමයකින් දක්වා ඇති නිසාය.  තවත් ලිපියක වසභ රජ පරපුර ගැන සඳහන්වේ. පළමුවන ගජබාහු රජකල ලිපියක දැක්වෙන පරිදි “දුබල – යහටගම” හා “අකුජ – මහගම” අධිකරණ ශාලාවලින් ලැබෙන දඩ මුදල්වලින් දෛනිකව කහවනු දෙක බැගින් සිතුල්පව්ව විහාරයේ භික්‍ෂූන්ගේ බෙහෙත් පිණිස ලබාදී ඇත. මීට අමතරව විවිධ පුද පුජාවන් පිළිබඳව සඳහන්වන පූර්ව බ්‍රාහ්මී කටාරම් ලේඛන රාශියක් ඇත.

 

Era : රුහුණ,

Built : කාවන්තිස්ස රජතුමා,

Added : වසභ රජතුමා,

චෛත්‍යයට පරිවාර චෛත්‍ය ලෙස වසභ රජතුමා ඉදිකළ අනෙක් චෛත්‍ය දහයේ අත්තිවාරම් දක්නට ඇත.

Added : කනිට්ඨතිස්ස රජතුමා,

කණිට්ට තිස්ස රජතුමා විසින් ඉදි කරන ලද බවට සැලකෙන  උපෝසථාගාරයක නටබුන් ප්‍රධාන ස්තුපය පිහිටි පර්වතයට දකුණින් දැකිය හැකිය. මෙහි දක්නට ලැබෙන ගල් කණු වල මුදුනේ ස්වභාවය අනුව මෙය මහල් කීපයක ගොඩනැගිල්ලක් බව පැහැදිලිවේ. ගොඩනැගිල්ලේ දකුණෙන් ඉහල මහලට පිවිසෙන පඩිපෙලක් තිබු බවට විශ්වාස කල හැකි ලකුණු ඇත.

ප්‍රවේශ මාර්ගයට බටහිරින් වන වැවේ දක්නට ලැබෙන ගල් කණු වල ස්වභාවය අනුව එහි ටැම්පිට විහාරයක් තිබුණු බවට අනුමාන කල හැකිය.

 
Digital Identity of Sri Lankan History - www.mahawansaya.com
All rights reserved - 2019
Powered by isandi CREATIONS