සිද්ධාර්ථ කුමරු (සිදුහත්)

පසු කලෙක ගෞතම බුද්ධ නමින් සම්මා සම්බුදු පදවියට පත්වූයේ මෙම කුමරාය.
 
මාස දහයකට පසු එක දිනක මහමායා දේවිය දරුවා ලැබීම සඳහා තම දෙමාපියන් හමුවීමට යෑමට සුදානම් වූවාය. සුද්ධෝදන රජතුමා ඒ සඳහා අවශ්‍ය සියලුම දේ සකස් කර දුන් පසු මහමායා දේවිය තම පියාගේ රාජධානියට යන්නට පටන් ගත්තාය.
 
මෙලෙස බොහෝ දුරක් ගිය පසු ඇය සල් ගස් පිරුණු, කුරුල්ලන් ගී ගයන මනරම් උයනක් දැක්කාය. ඇය විඩා නිවා ගැනීමට එහි නතර වූවාය. එහි නතර වූ ඇයට ටික වෙලාවකින් විළිරුදා දැණුනි(විළිරුදා යනුවෙන් සඳහන් කළද සැබෑවටම මවට සහ දරුවාට වේදනාවක් නොවීය). රාජ සේවිකාවෝ ඇය වට තිර රෙදි ඇද්දාහ. ටික වේලාවකින් පින්වත් කුමරෙකු මෙලොවට බිහි විය. (ක්‍රි.පූ 623 ) එම දිනය වෙසක් පොහොය ලෙස හඳුන්වයි.
 
එකල සුද්ධෝදන රජුගේ ගුරුවරයෙකු වූ කාල දේවල නම් බ්‍රාහ්මණයෙක් සිටියේය. මිනිසුන් ඔහුව හැඳින්වූයේ "අසිත බමුණා" යන නමිනි. ඔහු වනයට වී තපස් වඩමින් සිටි තාපසයෙකි. කුමරු ඉපදුණු බව අසා පසු දින ඔහු සුද්ධෝදන රජතුමාගේ මාලිගයට පැමිණියේය.
 
එවිට රජතුමා කුමාරයා ගෙනවිත් බමුණාට පෙන්වූයේය. බමුණා පාද යට අතට සිටින සේ කුමාරයා ගත් නමුත් එකවරම පාද ඉහලට එසවිණි. එවිට අසිත බමුණා කුමාරයාගේ යටි පතුල් පරීක්ෂා කර බලා එහි වූ මඟුල් සලකුණු දැක "මේ කුමාරයා යම් දිනෙක මේ තුන් ලෝකෙටම උතුම් වූ ගුරුවරයෙක් වෙතැයි" පැවසීය. එසේ පවසා අසිත බමුණා කුමාරයාට වැන්දේය. මෙය දුටු සුද්ධෝදන රජතුමාද කුමාරයාට වැන්දේය. මේ පළමුවර වැඳීමයි.
 
කුමරු ඉපදී දවස් පහකට පසු රජතුමා කුමාරයාට නම් තැබීමේ උත්සවය පැවැත්වීය. මේ සඳහා ශිල්ප ශාස්ත්‍ර දත් බමුණන් 108 දෙනෙක් කැඳවීය. එහි පැමිණි බමුණන් කුමාරයාගේ ශරීරයෙහි වූ සලකුණු දැක "මේ කුමාරයා ගිහි ගෙයි සිටියොත් සක්විති රජ වන බවත්, මහණ වුවොත් තුන් ලොවටම අග්‍ර වූ උතුම් වූ බුද්ධත්වය ලබන බවත්" පැවසීය. එවිට එහි සිටි ලාබාළම කොණ්ඩඤ්ඤ බමුණා කුමාරයාගේ නළලෙහී දකුණට කැරකුණු ඌර්ණ රෝම ධාතුව දැක එක ඇඟිල්ලක් ඉහලට ඔසවා "මේ කුමාරයා මතු යම් දිනෙක ගිහි ගෙයින් නික්මී බුද්ධත්වයම ලබන බව" පැවසීය.
 
ඉන්පසු එම බමුණන් තුන් ලොවටම යහපතක් කරන තැනැත්තා යන අර්ථයෙන් සිදුහත් (සිද්ධාර්ථ ) යන නම තැබීය.
 
Digital Identity of Sri Lankan History - www.mahawansaya.com
All rights reserved - 2019
Powered by isandi CREATIONS