ශ්‍රී ලාංකේය ඉතිහාසයේ ඩිජිටල් නිවහනඅතීතය සුරකිමු. අනාගතය දකිමු.
භාතික තිස්ස රජතුමා 49
ඉතිහාසය හැඩගැස්වූ චරිත

භාතික තිස්ස රජතුමා

140 ක්‍රි.ව. — 164 ක්‍රි.ව.

මෙම ඉතිහාස කතාවට සම්බන්ධ පුද්ගලයන්, ස්ථාන සහ තොරතුරු හඳුනාගන්න.

භාතික තිස්ස රජතුමා

තොරතුරු

රාජ්‍ය නාමය
භාතික තිස්ස රජතුමා
රාජවංශය
පළමුවන ලම්බකර්ණ
රාජ්‍ය කාලය
140 ක්‍රි.ව. — 164 ක්‍රි.ව.
රාජ්‍ය කාල සීමාව
24 වසර

මහලුනා රජුට පුත්‍රයෝ දෙදෙනෙක් වූහ. භාතියතිස්ස හා කණිට්ඨතිස්ස යනු එම කුමරුවෝ වෙති. පිය රජුගේ ඇවෑමෙන් වැඩිමහලු භාතියතිස්ස කුමාරයා රජකමට පත්විය. ඔහු මේ නමින් පෙනී සිටින දෙවැනි රජු බැවින් දෙවන භාතියතිස්ස වශයෙන් ඉතිහාස ලේඛකයන්ගෙන් නම් ලබා ඇත. භාතිය විශේෂණය ලැබී ඇත්තේ සිය කණිටු සොයුරු කණිටුතිස් කුමරුගේ සහෝදරයා වූ හෙයිනැ යි වංසකථාව දක්වයි. සෙල්ලිපිවල මේ නම ඛතියමහරජ, නකමහරප්හපුත, තිසමහරජ, බතිකරජ, බතියරජ, ඛතියතිසමහරජ ආදී වශයෙන් සටහන් වී තිබේ. මේ දෙදෙනා නිවුන් සහෝදරයන් හැටියට සැලකිය හැකි ය.

මහාවිහාරය වටා ප්‍රාකාරයක් ඉදිකරවීම මේ රජුගේ කටයුතු අතරට එක් වී තිබේ. නාගදීපයේ පලුදාගෙය ද ගවරතිස්ස විහාරය ද භාතියතිස්ස විහාරය ද ථූපාරාමයේ පොහොය ගෙය ද මේ රජුගේ කෘති වේ. රන්ධකණ්ඩක නම් වැවක් ද මේ රජු විසින් සාදන ලද නමුදු මේ කිසිවක් හඳුනා ගෙන නැත. මාමිණියා වැව ද මේ රජුගේ කෘතියක් බව රාජරත්නාකරයේ දැක්වේ. මහාවංසයේ දැක්වෙන ගාමිණිවාපිය ද මෙය ම විය යුතු ය.

භාතියතිස්ස රජුගේ යුගයට අයත් සෙල්ලිපි නවයක් උතුර නැගෙනහිර යන පළාත් ඇතුළු විවිධ ප්‍රදේශවලින් ලැබී ඇත. මෙයින් වෙල්ගම විහාර ලිපියෙන් එම පූජනීය ස්ථානය අඛගරව්හර (අභයගිරි විහාරය) නමින් හඳුන්වා තිබේ. මේ වූකලී වර්තමාන ත්‍රිකුණාමලය දිශාවේ පිහිටි වෙල්ගම් විහාරය යි. මේ පුදබිම පිහිටි නැගෙනහිර දෙස භාතියතිස්ස රජුගේ කාලයේ ඔහුගේ ඇමතියකු වූ අභය සේනාපති විසින් පාලනය කරන ලදී.

ලිපියේ සඳහන් පූජාව කරන ලද්දේ ඔහු විසිනි. නෙළුගල ලිපිය දිගු ලිපියකි. මාදුරුඔයේ දකුණු ඉවුරට අයත් පෙදෙසේ මඩකලපු දිශාවේ පෙරිල්ලාවලි වසමේ පිහිටි පුදබිමක ගල්තලයේ කොටා ඇති මේ ලිපිය වැදගත් ඓතිහාසික තොරතුරු සපයන්නකි. පියගලක අහලිපවත නම් වූ පූජනීය ස්ථානයට වඩමනක අහලවිය (වර්තමාන වඩුමුනේවැව) ඇතුළු පූජාවන් රැසක් කරන ලද බව ලිපියේ දැක්වෙයි. අනෙක් ලිපිවලින් ද කියැවෙන්නේ මේ රජුගේ කාලයේ දී කරන ලද පුද පූජා විස්තර වේ. එහෙත් මේ ලිපිවලින් වැදගත් කරුණක් අර්ථවත් වෙයි. එනම් භාතියතිස්ස රජුගේ කාලය සාමකාමීව ජනතාවත්, රජුත් ආගමික කටයුතුවල යෙදෙමින් දැහැමිව විසූ බවයි. මේ අන්දමට පැවතීමට රටේ ආර්ථික සංවර්ධනය ද දියුණු වී පවතින්නට ඇත. ජනතාව අවුල් වියවුල්වලින් මිදී තෘප්තිමත් ජීවිතයක් ගත කළා විය යුතු ය. භාතියතිස්ස රජුගේ රාජ්‍ය කාලය සූවිසිවසක් විය.

පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි

ඇන්ඩ්‍රොයිඩ් යෙදුම

මහාවංසය යෙදුම බාගන්න

ඔබේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගයෙන් ශ්‍රී ලංකාවේ රාජධානි, රජවරුන් සහ රජ පෙළපත් ගවේෂණය කරන්න.

Google Play වෙතින් ලබාගන්න