දඹදිව ගොස් විකුම් බල පෑ ගජබාහුකගාමණී රජුගෙන් පසු මහල්ලකනාග කුමාරයා රජකමට පත් වූයේ ය. ඔහු ගජබා රජුගේ සෙනෙවියා හැටියට කටයුතු කළ බව මහාවංසටීකාව දක්වයි. නිකාය සංග්‍රහය ඇතුළු සිංහල ග්රන්ථ වල මහලුමානා ලෙසින් සඳහන් වන්නේ මේ රජු ය. මහාවංසය දක්වන පරිදි ඔහු ගජබා රජුගේ මයිලණුවන් වූ බව පෙනේ. එහෙත් පූජාවලියට අනුව ඔහුගේ මස්සිනා වෙයි. මෙය පටලැවිල්ලකි. ගජබා රජු මහල්ලකනාගගේ දුවක් බිසොව කරගත්තේ නම් මහාවංසයට අනුව නෑකම නිවැරදි ය. ගජබා රජුගේ සහෝදරියක් මහල්ලකනාග රජු පාවාගෙන සිටියේ නම් පූජාවලියට අනුව නෑකම නිවැරදි ය. එක් පැත්තකින් වූ නෑකම පමණක් ගැන ග්රන්ථ දෙකට මාරු වී ඇතුළත් වූවා විය හැකි ය. සුහුරු බඩු යන පැරණි වචනය සසුර යැයි වැරදි ලෙස පෙළබසට නැගුනා ද යනුත් සැලකීමට පුළුවන.
කෙසේ නමුත් මහල්ලකනාග රජු උත්තර රාජ පුත්‍රයාගේ පුතකු බවත්, වසභ රජුගේ මුනුබුරා බවත් සෙල්ලිපිවලින් පැහැදිලි වෙයි. මේ රජුගේ කාලය තුළ දේශීය හෝ විදේශීය අර්බුදයක් ඇති වූ බවක් හෝ වෙනත් ගැටළුවක් ඇති වූ බවක් නොපෙනේ. මොහුගේ අණසක දිවයින පුරා පිළිගැනී තිබුණි. ඒ බව් දිවයිනේ නොයෙක් දෙසින් ලැබුණු ඔහුගේ සෙල්ලිපිවලින් පැහැදිලි වෙයි.
මහල්ලකනාග රජු විහාර හතක් කරවන ලද බව මහාවංසය දක්වයි. පේලක, කොටපබ්බත, දකපාසාණ, සාලිපබ්බත, තනවේලී, තොබ්බලනාග පබ්බත, ගිරිනාලික යනු එම විහාරවල නාම ලේඛනය වේ. මෙයින් සාලිපබ්බත විහාරය නාගදිපයේ විය. රාජරත්නාකරය දක්වන අන්දමට අබයතුරා මහාවිහාරය (අභයගිරි විහාරය) කරවන ලදදේ මහල්ලකනාග රජු විසිනි. එහෙත් එය පිළිගත නොහැකි ය. සමහර විට ඔහු එම විහාරයේ වෙනත් කිසියම් මෙහෙයක් කරන්නට ඇත. මහාවංසයේ දැක්වෙන විස්තරය අනුව මේ රජු නොවැදගත් අයකු ලෙස සලකා ඇති බව පෙනේ. පුන්‍යකර්ම විස්තරය හැරෙන විට වෙනත් කිසිදු තොරතුරක් ද මොහු ගැන එහි සඳහන් වී නැත.
මහලුනා රජුගේ කාලයට අයත් සෙල්ලිපි පහක් දිවයිනේ නොයක් දෙසින් ලැබී ඇත. මේ ලිපිවලින් කියැවෙන්නේ ද ඔහු විසින් ආරාමවලට කරන ලද පුද පූජා පිළිබඳ තොරතුරු ය. මින් තම්මැන්නාකන්ද ලිපියෙන් පරිතිනක පවත නම් විහාරයට පප්ලක, පලඅවිය, මණිකරගම යන වැව් පිදූ බවක් කියවේ. තිඹිරිවැව ලිපියේ ඔහුගේ සේසත් නැංවු සිවුවන වසෙහි පුරපස දොළොස්වන දින හොඛ්ය නකල නම් ඇමතියකු විසින් කරන ලද පුජාවක විස්තර ඇතුළත් වෙයි. රුවන්මැලි සෑ ලිපිය එහි ගඩොළු හතළිස් හතරක් තැන්පත් කළ බව දක්වයි. මෙහි තවත් වැදගත්කමක් වේ. එනම් පූජාව කරන ලද්දේ උපාසිකා චිත්තා විසින් බව පැහැදිලි වීමයි. මහල්ලකනාග රජු රුහුණේ උප රජු වශයෙන් කටයුතු කරද්දී එහි උලිඛිකල නක රප් මහාවිහාරයට ඇළක් පිදූ බව හබැස්ස ලිපිය අනුව පෙනේ. මේ විහාරය ඔහු විසින් කරවන ලද තොලනාග පබ්බත විහාරය ම විය හැකි ය.
මේ රජුගේ රාජ්‍ය කාලය වසර හයක් විය.
පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි
