ශ්‍රී ලාංකේය ඉතිහාසයේ ඩිජිටල් නිවහනඅතීතය සුරකිමු. අනාගතය දකිමු.
3 වන මහින්ද රජතුමා 111
ඉතිහාසය හැඩගැස්වූ චරිත

3 වන මහින්ද රජතුමා

801 ක්‍රි.ව. — 804 ක්‍රි.ව.

මෙම ඉතිහාස කතාවට සම්බන්ධ පුද්ගලයන්, ස්ථාන සහ තොරතුරු හඳුනාගන්න.

3 වන මහින්ද රජතුමා

තොරතුරු

රාජ්‍ය නාමය
3 වන මහින්ද රජතුමා
රාජවංශය
තුන්වන ලම්බකර්ණ (මානවම්ම)
රාජ්‍ය කාලය
801 ක්‍රි.ව. — 804 ක්‍රි.ව.
රාජ්‍ය කාල සීමාව
4 වසර

පළමු වන උදය රජුගෙන් පසු රජකමට පත් වූයේ ඔහුගේ පුත්‍රයා වූ මහින්ද කුමාරයාය. හේ එනමින් පෙනී සිටි තුන්වැන්නා විය. ඔහුගේ අභිෂේක නාමය ශිලාමෙඝ යනු විය. ඉතා ධාර්මික පාලකයෙකු වූ බැවින් ධාර්මික ශිලාමෙඝ යන නමින් මේ රජු ප්‍රකට වූයේය. සියලු යහපත් වැඩ කළේය. යනුවෙන් මහාවංසය ඉතා කෙටියෙන් මහින්ද රජු ගැන සඳහන් කරයි. එහෙත් නම් වශයෙන් එන්නේ ඇළක් පූජා කිරීමක් ගැන පමණකි.

මේ රජවරුන්ගේ කටයුතු ගැන වංස කථාවල සඳහන් වන්නේ සුළු විස්තර පමණි. ආර්ථික සංවර්ධනාදී තොරතුරු වාර්තා නොකළ තරමි. එහෙත් ඒවා නොසිදු වීයැයි කිය නොහේ. පෙරැ දුරන් විසින් තබන ලද වාර්තා මහාවංසයේ මේ කොටස් ලියන කාලයේ අභාවයට ගොස් තිබුණා විය යුතුය. මේ රජු ගැන සඳහන් කරන විට පෙර රජවරුන් කරන ලද සියලු යහපත් දේ කළේ යැයි දක්වන ලද සටහන හිස් වාර්තාවක් සේ පෙනී යන්නේ රජවරුන් කළ දේ ගැන මහාවංසකරුට දැනීමක් නොවූ නිසා විය යුතුය.

පූජාවලිය, රාජාවලිය දෙක්හි මිහිඳු රජුට අමුතු නමක් පටබැඳී ඇත. හැලිගැරවිල් ඉස්කෑසෝ මිහිඳු යනුවෙන් එහි සඳහන් වේ. මෙහි අර්ථය පැහැදිලි නැත. රාජරත්නාකරය, නිකාය සංග්‍රහය, සෝ මිහිඳු යනුවෙන් නම් කරයි.

තෙවන මහින්ද රජුගේ යුගයට අයත් එක් සෙල්ලිපියක් හමු වී තිබේ. මෙය ජලය පිළිබඳව ආරවුලක් විසඳීම සඳහා පිහිටුවන ලද්දකි. වර්තමාන මුලතිව් දිශාවේ කුරුන්දන්කුලම් නමින් හැඳින්වෙන ස්ථානයේ තිබූ මේ ලිපිය දැන් විනාශයට පත් කර ඇත. වැවේ ජලය පිළිබඳව වූ ආරවුල විසඳීම පිණිස රජුත්, බිසොවත්, දියණියත් එහි පැමිණි බව කියැවේ. ලිපියෙන් දැක්වෙන කුරුන්ගම වර්තමාන කුරුන්දම් කුලම් නම් පෙදෙස බව පැහැදිලිය. මෙහි දැනට ඇති තන්නි මුරිප්පු වැව ලිපියේ දැක්වෙන වැව විය යුතුය. සෙල්ලිපියෙහි එය මහිඳවැව (මහින්ද වැව) යනුවෙන් නම් කර තිබේ. මහින්ද රජු වසර හතරක් රජ කළේය.

පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි

ඇන්ඩ්‍රොයිඩ් යෙදුම

මහාවංසය යෙදුම බාගන්න

ඔබේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගයෙන් ශ්‍රී ලංකාවේ රාජධානි, රජවරුන් සහ රජ පෙළපත් ගවේෂණය කරන්න.

Google Play වෙතින් ලබාගන්න